Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලාන අවසන් ගැටුමේ සියලු තොරතුරු මෙන්න ; ප්‍රේක්ෂකයින්ටත් සහනයක්

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද (11) මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු ශූරතාවය දිනා ගැනීමේ අරමුණින් තරග බිමට පිවිසෙන අතර, පාකිස්තානය තෙවැනි වරටත් ශූරතාවය ජය ගැනීමේ අපේක්ෂාවෙනුයි ඉරිදා දිනයේ දී තරග බිමට පිවිසෙන්නේ.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 11 වැනි අවස්ථාව මෙය වන අතර, ආසියානු කුසලාන තරගාවලියේ දී වැඩිම අවස්ථා ගණනකදී අවසන් තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම ලෙසයි ශ්‍රී ලංකාව ඉතිහාසගත වී ඇත්තේ.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය මීට පෙර අවස්ථා තුනකදී ආසියානු කුසලාන තරගාලියන්හි අවසන් තරගයේ දී එකනෙකා මුණ ගැසී තිබෙනවා.

2000 වසරේ දී පාකිස්තානයත්, 1986 හා 2014 වසරවලදී ශ්‍රී ලංකාවත් එම අවසන් මහා තරග ජය ගත්තා.

ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු කුසලානයක් ජය ගත්තේ ද 2014 වසරේ දී යි. පාකිස්තානය අවසන් වරට මෙම ශූරතාවය දිනා ගැනීමට 2012 වසරේ දී සමත් වුණේ අවසන් තරගයේ දී බංග්ලාදේශය පරාජයට පත් කරමින්.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දක්වා 20යි 20 ජාත්‍යන්තර තරග 22 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13 ක් පාකිස්තානයත්, තරග 9 ක් ශ්‍රී ලංකාවත් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට සුපිරි 4 වටයේ අවසන් තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 11 දෙනා සමගින්ම ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

ඒ අනුව මෙම තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වාත්, අසිත ප්‍රනාන්දු වෙනුවට ප්‍රමෝද් මදුෂාන් ද පසුගිය තරගයේ දී මෙන්ම අද තරගය සදහා ද ක්‍රීඩා කරනු ඇති.

කෙසේ වෙතත්, පාකිස්තාන කණ්ඩායම සදහා අද තරගයේ දී වෙනස්කම් දෙකක් අපේක්ෂා කළ හැකි අතර, ඒ අනුව පසුගිය තරගයේ දී විවේක ගැන් වූ ශඩාබ් ඛාන් හා නසීම් ශාහ් අද තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ, උස්මාන් කාදීර් හා හසන් අලී වෙනුවටයි.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30 සිට ස්වාධීන රූපවාහිනී සේවයෙන් (ITN) ද සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

වසන්තම් TV නාලිකාවෙන් මෙන්ම STAR SPORTS 1 නාලිකාව ඔස්සේ ද තරගය සජීවීව නැරඹිය හැකියි.

Leave a comment