Ultimate magazine theme for WordPress.

PSL ජයග්‍රාහකයින්ට හිමි වූ මුදල මෙන්න – වැඩිම කඩුලුලාභීන් අතර LPL එන ක්‍රීඩකයෙකුත්

2016 වසරේ ආරම්භ වූ පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන අදියර ඊයේ (17) දිනයේදී නිමාවට පත්වුණේ කරච්චි කිංග්ස් කණ්ඩායමට කුලුදුල් ශූරතාවය හිමිකරදෙමින්.

මෙහිදී සුවිශේෂී කරුණක් බවට පත්ව තිබුණේ මීට මාස දෙකකට පමණ ඉහතදී හෘදයාබාධයකින් මෙලොවින් සමු ගත් ඩීන් ජෝන්ස් ශූරතාවය හිමිකරගත් කරච්චි කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයතු කර තිබීමයි.

ඔහුගේ අභාවයෙන් පසුව මෙවර තරගාවලියේ අවසන් වටයේ තරගවලදී කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස වසීම් අක්‍රම් කටයුතු කළා.

මෙවර තරගාවලියේ ශූරයින්ට හිමි වූ මුදල සහ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු පිළිබද ඔබට තොරතුරු ගෙන ඒම සදහායි මෙම සටහන තැබීමට අප අදහස් කළේ.

කරච්චි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමේ නායක සොහයිල් අක්තාර් තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සාර්ථක ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමට කරච්චි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී ලාහෝර් කණ්ඩායමට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 134 ක් පමණයි.

තමීම් ඉක්බාල් ලකුනු 35(38) ක්, ෆකාර් සමාන් ලකුණු 27(24) ක් ලබා ගත් නමුත්, සෙසු එකදු පිතිකරුවෙකුටවත් ලකුණු 15 සීමාවට ළගා වීමට අවස්ථාවක් හිමිවූයේ නැහැ.

සියල්ලන් බලාපොරොත්තු දල්වා සිටී මොහොමඩ් හෆීස් ලකුණු 2 කට දැවී ගියා.

වකාස් මක්සූඩ්, අර්ශාඩ් ඉක්බාල් හා උමයිද් අසීෆ් කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 135 ක පහසු ඉලක්කයක් හඹා ගිය කරච්චි කිංග්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4 ක් තුළ කඩුලු 5 ක් දැවී ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

සුපුරුදු පිතිප්‍රහාරය දියත් කළ බබාර් අසාම් නොදැවී ලකුණු 63(49) ක් රැස්කළා.

එම ඉනිමට හතරේ පහරවල් 7 ක් ඇතුලත්ව තිබුණා.

චැඩ්වික් වොල්ටන් ලකුණු 22(27) ක් ලබා ගත් අතර, හැරිස් රවුෆ් හා දිල්බාර් හුසේන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අවසන් මහා තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ බාබර් අසාම්.

එලෙසින් ශූරතාවය දිනා ගත් කරච්චි කිංග්ස් කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 9.2 ක්.

අනුශුරතාවය දිනා ගත් ලාහෝර් කණ්ඩායමට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3.6ක්.

මීට අමතරව තරග 34හි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයින්ට අමෙරිකානු ඩොලර් 4,500 බැගින්ද පිරිනමා තිබුණා.

තරගාවලියේ වීරයාට, හොදම පිතිකරුට, හොදම පන්දු යවන්නාට සහ ක්‍රීඩාවේ ජීව ගුණයට අදාළව පිරිනැමූ සම්මාන සදහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1.4ක මුදලක් සමානව බෙදා හැරුණා.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ ශහීන් ශාහ් අෆ්රිඩි තරග 12 කට ක්‍රීඩා කරමින් කඩුලු 17 ක් බිඳ හෙලුවා.

වැඩිම කඩුලුලාභීන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානය සොහයිල් තන්වීර් විසින් දිනා ගත් අතර තරග 10 කට ක්‍රීඩා කර ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 14 ක්.

තන්වීර් එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කැන්ඩී ටස්කර්ස් කණ්ඩායම ද නියෝජනය කිරීමට නියමිතයි.

Leave a comment