Ultimate magazine theme for WordPress.

නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(6) ප්‍රකාශයට පත් කළා

ඊට අනුව එහි පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 11කින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී ශතක දෙකක් වාර්තා කරමින් පිත්තෙන් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

ඔහු අවසන් වරට ක්‍රීඩා කළ ටෙස්ට් තරග තුනේ දී ශතක 4ක් වාර්තා කිරීමට බෙයාර්ස්ටව් සමත් වීම විශේෂත්වයක්.

මේ අතර, ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එංගලන්තයට එරෙහි අවසන් ටෙස්ට් තරගයේ දී ඔහු පළමු ඉනිමේ දී ලකුණු 146 ක් ද, දෙවැනි ඉනිමේ දී ලකුණු 57 ක් ද වාර්තා කිරීමට සමත් වුණා.

එම ටෙස්ට් තරගයේ දී ලකුණු 11ක් හා 20 ක් ලබා ගත් විරාට් කෝලි 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් පසුබැස තිබෙනවා.

මේ වන විට ශ්‍රේණිගත ලකුණු 923ක් සමගින් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ පසුවන්නේ එංගලන්තයේ ජෝ රූට්.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 9ක් දවා ගත් ඔස්ට්‍රේලියාවේ නේදන් ලයන් ටෙස්ට් පන්දු යවන්නන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

Leave a comment