Ultimate magazine theme for WordPress.

චන්දිමාල්ගේ වේගවත් ප්‍රහාරය අපතේ යවමින් තිසරගේ කණ්ඩායම අවසන් මහා තරගයට

Army Commander’s League විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සීක්කුගේ ප්‍රසන්න නායකත්වය දරන Northern Warriors කණ්ඩායම සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කරන අනෙකුත් කණ්ඩායම තීරණය කිරීම සදහා අද (05) පැවති Western Warriors සහ Southern Warriors කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.

ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 2 බැගින් හිමි වූ අතර, එම ප්‍රසාද ලකුණු දෙකත් සමග ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටි තිසර පෙරෙරා නායකත්වය ලබාදෙන Western Warriors කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබාගත්තා.

දොඹගොඩ යුධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් Southern Warriors කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Western Warriors කණ්ඩායමට ආරාධනා කළා.

කෙසේ වෙතත්, Western Warriors ඉනිමට වර්ෂාවෙන්  විටින් විට බලපෑම් එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 9 කට සීමා කිරීමටයි තරගය අතරතුර දී තීරණය කෙරුණේ.

ඒ අනුව නියමිත පන්දුවාර 9 අවසානයේ Western Warriors කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 93 ක් රැස්කිරීමට සමත්වුණා.

ඩිල්ෂාන් මුණවීර පන්දු 26 කදී ලකුණු 44 ක් ද , උපුල් තරංග පන්දු 26 කදී ලකුණු 40 ක්ද රැස්කළා. යශෝද මෙන්ඩිස් නොදැවී ලකුණු 6 යි.

පන්දු යැවීමේදී ජනිත් සිල්වා ලකුණු 18කට කඩුලු 2 ක් බිඳ හෙලීමට සමත්වුණා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දිනේෂ් චන්දිමාල්ගේ Southern Warriors කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා පන්දුවාර 9 තුළ ලබා ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 112 ක්.

කෙසේ නමුත් අවසන් මහා තරගයට පිවිසීමට නම් මෙම ඉලක්කය පන්දුවාර 6 කටත් අඩු පන්දු ගණනකදී සපුරා ගැනීමට Southern Warriors කණ්ඩායමට අවශ්‍ය වුණා.

එවැනි තත්ත්වයක් යටතේ පිටියට පිවිසි Southern Warriors කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුගලය වු දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ පෙරේරා මුහුණ දුන් ප්‍රථම පන්දුවේ සිට ප්‍රවේගකාමී ආරම්භයක් ලබාගැනීමටයි උත්සාහ කළේ.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක දිනේෂ් චන්දිමාල් පන්දු 12 කදී නොදැවී ලකුණු 39 ක් වාර්තා කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 4 ක් සහ හතරේ පහරවල් 3 ක් ඇතුළත්. ප්‍රහාරාත්මක වේගය දැක්වුණේ 325 ක් ලෙසයි.

ඇන්ජලෝ පෙරේරා ලකුණු 4(4) කට දැවී ගියා. ඔහුගේ කඩුල්ල දවාගැනීමට සමත්වුනේ මහීෂ් තීක්ෂණ විසින්.

Southern Warriors කණ්ඩායම පන්දුවාර 2.5 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 46 ක් රැස් කර සිටියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අනතුරුව තරගය ප්‍රතිපලයකින් තොරව අතහැර දැමීමටයි සිදු වුණේ.

ඒ අනුව Southern Warriors කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් බලාපොරොත්තුව අහිමි වී ගියා.

Leave a comment