Ultimate magazine theme for WordPress.

ලංකා ප්‍රිමියර් ලීග් ඓතිහාසික ක්‍රීඩක වෙන්දේසිය අද සිදු වෙන්නේ මෙහෙමයි

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ පළමු ක්‍රීඩක වෙන්දේසිය අද (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ වෙන්දේසිය පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිත බවයි.

තරගාවලියේ පළමු අදියර 3 සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමක් (Draft) පවත්වමින් ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු වූ අතර, මෙවර පළමු වරටයි ක්‍රීඩක වෙන්දේසියක් ඔස්සේ ක්‍රීඩකයින් මිලදී ගැනීමට කටයුතු සූදානම් කර ඇත්තේ. ඒ අනුව IPL, SA20 හා WPL යන තරගාවලියන්ගෙන් පසුව ක්‍රීඩක වෙන්දේසියක් පවත්වන එකම ෆ්‍රැන්චයින් ලීග් ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරගාවලිය පත්වනවා.

වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, ඉන් ක්‍රීඩකයින් 204 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන බවත්, සෙසු ක්‍රීඩකයින් 156 දෙනා විදෙස් ක්‍රීඩකයින් වන බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

වෙන්දේසිය සදහා වට 51 ක් ඇතුළත්. වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීමට සිදු වන අතර, එහිදී විදෙස් ක්‍රීඩකයින් ද සිව් දෙනෙකු මිලදී ගැනීමට සිදු වනවා. සෑම කණ්ඩායමක්ම වයස අවුරු 21 න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද සිය සංචිතයට මිලදී ගත යුතුයි.

වෙන්දේසියට පෙර ද ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු සමග ගිවිසුම්ගත වීමට සෑම කණ්ඩායමකටම අවසර ලබා දී තිබුණා. ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග මේ වන විටත් සියලු කණ්ඩායම් ගිවිසුම්ගත වී අවසන්.

මේ වන විට ගිවිසුම්ගත වී සිටින ක්‍රීඩකයින් 20 දෙනා –

  • Colombo : Babar Azam, Matheesha Pathirana, Naseem Shah, Chamika Karunaratne
  • Dambulla : Mathew Wade, Kusal Mendis, Lungi Ngidi, Avishka Fernando
  • Galle : Shakib Al Hasan, Dasun Shanaka, Tabraiz Shamsi, Bhanuka Rajapaksa
  • Jaffna : David Miller, Thisara Perera, Rahmanullah Gurbaz, Maheesh Theekshana
  • Kandy : Mujeeb Ur Rahman, Wanindu Hasaranga, Fakhar Zaman, Angelo Mathews

වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කළ හැකි අතර, ඒ අනුව කණ්ඩායම් පහ විසින්ම වෙන්දේසියේ දී වියදම් කරනු ලබන මුදල ඩොලර් මිලියන 2.5 ක්. ඉන්දීය ජාතික චාරු ෂර්මා LPL වෙන්දේසියේ දී වෙන්දේසිකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

එක් සංචිතයක් සදහා ක්‍රීඩකයින් 24 දෙනෙකු උපරිම වශයෙන් මිලදී ගත හැකියි. (වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වූ හා වෙන්දේසියේ දී මිලදී ගන්නා ක්‍රීඩකයින් ඇතුළුව) සංචිතයකට ඇතුළත් විය හැකි අවම ක්‍රීඩකයින් සංඛ්‍යාව 20 ක්. එක් කණ්ඩායමක් විසින් විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ද අනිවාර්යයෙන් සිය සංචිතයට මිලදී ගත යුතුයි. අවම වශයෙන් දේශිය ක්‍රීඩකයින් 14 දෙනෙකු ද, උපරිම වශයෙන් දේශීය ක්‍රීඩකයින් 19 දෙනෙකු ද මිලදී ගැනීමේ අවස්ථාව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණා.

ක්‍රීඩකයෙකු සමග වසර 3 ක කාලයක් සදහා ගිවිසුම්ගත වීමේ හැකියාව කණ්ඩායම් හිමිකරුවන්ට පවතිනවා. කෙසේ වෙතත්, සෑම වසරක් අවසානයේ දී ම ක්‍රීඩකයින් සිය සංචිතයෙන් නිදහස් කිරීමේ හෝ රදවා ගැනීමේ අයිතිය ඒ ඒ කණ්ඩායම් සතුයි.

ක්‍රීඩකයින් නිදහස් කිරීමෙන් හෝ යම් හේතුවක් මත ක්‍රීඩකයින්ට තරගාවලියට සම්බන්ධ වීමට නොහැකි වන විට ඇති වන පුරප්පාඩු වෙනුවෙන් වසරින් වසර කුඩා වෙන්දේසියක් (mini-auction) පැවැත්වීමට නියමිතයි. වසර 3ක චක්‍රයක් ලෙස එලෙස වාර්ෂිකව කුඩා වෙන්දේසි පැවැත්වීමට නියමිතව තිබෙනවා. කණ්ඩායම් අතර ක්‍රීඩකයින් අලෙවි කිරීම සදහා ද යම් කාලසීමාවක් ලබා දෙන බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

ක්‍රීඩකයින්ට Capped Players හා Uncapped Players යන කාණ්ඩ දෙක යටතේ වෙන්දේසිය සදහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී තිබුණා. Capped Players කාණ්ඩයෙන් ලියාපදිංචි විය හැකි වන්නේ එක් ජාත්‍යන්තර තරගයක් හෝ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට පමණයි. ඩොලර් 10,000 / ඩොලර් 20,000 / ඩොලර් 30,000 / ඩොලර් 40,000 / ඩොලර් 50,000(රුපියල් කෝටි 1.4ක් පමණ) යන මූලික වටිනාකම් යටතේ ක්‍රීඩකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව පැවතුණා. කණ්ඩායම් හිමිකරුවන් විසින් එම මූලික වටිනාකම් යටතේ හෝ ලංසු ඉදිරිපත් කරමින් ඊට වඩා වැඩි මුදලක් යටතේ හෝ ක්‍රීඩකයින් මිලදී ගැනීමට නියමිතයි.

වෙන්දේසියේ දී කණ්ඩායම් දෙකක් විසින් ලංසු ඉදිරිපත් කිරීම සිදු කරන අතර, එක් කණ්ඩායමක් ඉන් ඉවත් වීමට තීරණය කිරීමෙන් පසුවයි වෙනත් කණ්ඩායමටකට ලංසු ඉදිරිපත් කළ හැකි වන්නේ. ලංසු ඉදිරිපත් කිරීමේ දී ඒ ඒ මූල්‍ය වටිනාකම් අනුව එක් එක් ලංසුව වර්ධනය වන්නේ පහත සදහන් ආකාරයෙන් –

  • From $5,000 to $10,000 – increments of $500 per bid
  • From $10,000 to $20,000 – increments of $1000 per bid
  • From $20,000 to $30,000 – increments of $2000 per bid
  • From $30,000 to $50,000 – increments of $2500 per bid
  • From $50,000 & above – increments of $5000 per bid

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වැනි අදියර ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩක වෙන්දේසියේ සජීවී යාවත්කාලීන කිරීම අද පස්වරු 2:30 සිට hitwicket.lk වෙබ් අඩවිය ඔස්සේ ගෙන ඒමට අප සූදානම්.

Leave a comment