Ultimate magazine theme for WordPress.

IPL Updates – Day 3

නවතම තොරතුරු සදහා පිටුව Refresh කරන්න

IPL

අප්‍රේල් 02 – 11:33 pm – RCB පිලට කඩුලු 8ක ජයක්

විරාට් කෝලි පන්දු 49 කින් නොදැවී වාර්තා කළ ලකුණු 82 හා නායක ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 43 කින් වාර්තා කළ ලකුණු 73 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(2) සමත් වුණා.

Match Report

අප්‍රේල් 02 – 07:20 pm – බට්ලර්, ජයිස්වාල්, සැම්සන්ගේ ප්‍රහාරය හා චෙහල්ගේ කඩුලු 4 රාජස්ථානයට ජය ගෙනෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ ලකුණු 72 ක පරාජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අද(2) සිදු වුණා.

Match Report

Watch : ඉනිමේ පළමු පන්දුවාරයේ දී ලකුණු බින්දුවකට බෝල්ට්ගෙන් කඩුලු 2ක්

අප්‍රේල් 02 – 03:30 pm – කාසියේ වාසිය සන්රයිසස් කණ්ඩායමට

අයි.පී.එල් තරගාවලියේ ‌සිව්වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. තරගය හයිදරාබාද් හී දී පැවැත්වෙනවා.

අප්‍රේල් 02 – 12:01 pm – ‌විලියම්සන් තරගාවලියෙන් ඉවතට

මෙවර අයි.පී.එල් තරගාවලියේ පළමු තරගයේ දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පිතිකරු කේන් විලියම්සන්ට මෙවර තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. (වැඩිදුර තොරතුරු සදහා මෙතන ක්ලික් කරන්න)

© Associated Press

අප්‍රේල් 01 : 11:35 pm : ලක්නව් පිලට ලකුණු 50 ක ජයක්

අයි.පී.එල් තරගාවලියේ 3 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ලක්නව්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දිල්ලි කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි. Match Report

අප්‍රේල් 01 : 08:34 pm : භානුකගේ ප්‍රහාරය පංජාබ් පිලට ජයග්‍රාහී ආරම්භයක් හිමි කර දෙයි

භානුක රාජපක්ෂ පන්දු 32 කින් ලබා ගත් ලකුණු 50 හා අර්ෂ්දීප් සිං ලකුණු 19 කට බිද හෙලූ කඩුලු තුන හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 7ක ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

මොහාලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 146 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණා.

ඒ වන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීමටනම් කොල්කටා පිල ලකුණු 154 ක් ලබා ගත යුතුව තිබුණා.

Match Report

අප්‍රේල් 01 : 07:25 pm : තෙවැනි තරගයේ කාසියේ වාසිය කැපිටල්ස් කණ්ඩායමට

තරගාවලියේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමට තීරණය කරයි. තරගය ලක්නව් හී දී පැවැත්වෙනවා.

අප්‍රේල් 01 : 03:30 pm : දෙවැනි තරගයේ කාසියේ වාසිය KKR කණ්ඩායමට

තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මොහාලිහීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පංජාබ් කිංග්ස් කණ්ඩායමට ලබා දුන්නා.

අප්‍රේල් 01 : 12:07 pm : මොකක්ද මේ Impact Player නීතිය 

උපායමාර්ගිකව ක්‍රීඩක ආදේශ කිරීමක් සිදු කිරීමට කණ්ඩායම් දෙක සදහා අවසර ලබා දීම මෙම නව ක්‍රමවේදය ඔස්සේ සිදු වනවා.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී කණ්ඩායමක් විසින් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද නම් කළ යුතුයි. එම අතිරේක ක්‍රීඩකයින් පස් දෙනා අතරින් එක් අයෙකුයි ‘බලපෑම් ක්‍රීඩකයා’ (Impact Player) ලෙස තරගය අතරතුර දී නම් කළ යුතු වන්නේ.

එක් තරගයක් සදහා එක් බලපෑම් ක්‍රීඩකයෙකු බැගින් යොදා ගැනීමට කණ්ඩායම් දෙකට අවසර හිමි වනවා. කෙසේ වෙතත්, එය අනිවාර්යය නොවේ. ‘බලපෑම් ක්‍රීඩකයා’ හේතුවෙන් ආදේශ කිරීමට ලක් වූ, පළමුව නම් කළ ක්‍රීඩකයින් 11 දෙනා අතරට ඇතුළත්ව සිටි ක්‍රීඩකයාට අදාළ ආදේශ කිරීම සිදු කිරීමෙන් පසුව යළි එම තරගයට කිසිදු අයුරකින් ක්‍රීඩා කළ හැකි වන්නේ නැහැ. (අතිරේක පන්දු රකින්නෙකු ලෙසවත් නොහැක)

පන්දු රකින කණ්ඩායමට පන්දු රකින්නෙකු ආබාධයකට ලක් වූ අවස්ථාවකදී ද මෙම ආදේශ කිරීම සිදු කළ හැකියි. බලපෑම් ක්‍රීඩකයා ‌ලෙස යොදා ගත හැකි වන්නේ ඉන්දීය ක්‍රීඩකයෙකු පමණයි. කණ්ඩායමට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් ගණන 4කට අඩු අගයක් ගන්නේනම් පමණක් විදෙස් ක්‍රීඩකයෙකු කණ්ඩායමට බලපෑම් ක්‍රීඩකයා ලෙස ආදේශ කළ හැකියි.

බලපෑම් ක්‍රීඩකයාට පිතිකරණයේ නිරත වීමේ අවස්ථාව මෙන්ම පන්දුවාර හතරම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව පවතින නමුත්, කණ්ඩායමක පිතිකරණයේ නිරත විය හැකි උපරිම පිතිකරුවන් ගණන 11 දෙනෙකු පමණයි.

ඉනිමේ ආරම්භයට පෙර හෝ පන්දුවාරයක අවසානයෙන් පසුව බලපෑම් ක්‍රීඩකයා හදුන්වා දිය හැකියි. එමෙන්ම පිතිකරුවෙකු නම්, කඩුල්ලක් දැවී ගිය අවස්ථාවක හෝ පන්දුවාරයක ඕනෑම අවස්ථාවක පිතිකරුවෙකු ඉවත් වන විට බලපෑම් ක්‍රීඩකයා හදුන්වා දිය හැකි වනවා. කඩුල්ලක් දැවී ගිය අවස්ථාවක පන්දු රකින කණ්ඩායමට බලපෑම් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැදවිය හැකි නමුත්, කඩුල්ල දැවී ගිය පන්දුවාරයේ තවත් ඉතිරි පන්දු ඇත්නම් එම පන්දුවාරය සම්පූර්ණ කිරීම සදහා අදාළ බලපෑම් ක්‍රීඩකයාට පන්දු යැවිය නොහැකි වනවා.

අප්‍රේල් 01 : 9:40 am : අද අයි.පී.එල් තරග දෙකක් 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දෙවැනි දිනය අදයි(1).

අද දිනයේ දී තරග දෙකක් පැවැත්වෙන අතර, ඒ අනුව පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි. එම තරගය පස්වරු 3:30ට මොහාලි හී දී ආරම්භ වීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර රාත්‍රී 7:30ට ලක්නව් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මාර්තු 31 : 11:56 pm : චෙන්නායි පරදා ටයිටන්ස් කණ්ඩායමෙන් 2023 IPL තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‌ය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පසුගියවර අයි.පී.එල් ශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායම ඉනිමා නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Match Report

මාර්තු 31 : 8:27 pm : Watch : 2023 IPL තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට ෂාමි යොමු කළ සුපිරි පන්දුව

මාර්තු 31 : 7:20 pm : පළමු තරගයේ කාසියේ වාසිය ගුජරාට් පිලට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව අහ්මදාබාද් හී දී පැවැත්වෙන තරගයේ දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තිරණය ‌කළේ.

කණ්ඩායම් දෙක –

  • Gujarat Titans XI: S Gill, W Saha (wk), K Williamson, H Pandya (c), V Shankar, R Tewatia, R Khan, M Shami, J Little, Y Dayal, A Joseph.
  • Chennai Super Kings XI: R Gaikwad, D Conway, B Stokes, A Rayudu, M Ali, R Jadeja, M Dhoni (c/wk), S Dube, D Chahar, M Santner, R Hangargekar.

මාර්තු 31 : 4:51 pm : ​ බුම්රා වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් සංදීප් වොරියර් සමග ගිවිසුම් ගත වී ඇත්තේ ආබාධයකට ලක්ව සිටින ජස්ප්‍රිට් බුම්රා වෙනුවටයි.

එක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ද ක්‍රීඩා කර ඇති ඔහු සමස්ත 20යි 20 තරග 68 ක දී බිද හෙලා ඇති කඩුලු ගණන 62 ක්.

ඔහු මීට පෙර කොල්කටා නයිට් රයිඩර්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිත නියෝජනය කළ අතර, මේ දක්වා ක්‍රීඩා කර ඇති අයි.පී.එල් තරග සංඛ්‍යාව 5 ක්.

ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක් වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි.

මාර්තු 31 : 4:43 pm : රිෂාබ් පාන්ට් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කෙරේ

අදින් (31) ඇරඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් අභිෂේක් පොරෙල් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, රිය අනතුරකට මුහුණ දීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී සිටින නායක රිෂාබ් පාන්ට් වෙනුවටයි.පොරෙල් පළමු පෙල තරග 16 ක් ක්‍රීඩා කර ඇති අතර, List A එක්දින තරග හා 20යි 20 තරග 3 බැගින් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග එක් වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි.

මාර්තු 31 : 3:20 pm : දකුණු අප්‍රිකාවේ ප්‍රේක්ෂකයින්ට IPL අහිමි වෙයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ප්‍රේක්ෂකයින්ට අයි.පී.එල් ඉතිහාසයේ පළමු වරට අහිමි වී තිබෙනවා.

ඒ, ගෙවීම්-රූපවාහිනී විකාශකයෙකු වන (pay-television broadcaster) SuperSport නාලිකාව විසින් තමන්ට මෙවර තරගාවලියේ විකාශන අයිතිය නොමැති බව මේ වන විට තහවුරු කර තිබීමත් සමගයි.

මෙතෙක් පැවැති අයි.පී.එල් තරගාවලි 15 ම එම නාලිකාව විසිනුයි විකාශය කරනු ලැබුවේ. කෙසේ වෙතත්, පසුගිය වසරේ ජූනි මාසයේ දී උප සහරා අප්‍රිකානු විකාශන අයිතිය SuperSport නාලිකාවට අහිමි වුණේ ඉන්දියාවේ Viacom18 නාලිකාව එම අයිතිය ලබා ගැනීම හේතුවෙන්. වැඩිදුර තොරතුරු සදහා මෙතන ක්ලික් කරන්න

මාර්තු 31 : 9:03 am IPL ක්‍රිකට් සැණකෙළිය අදින් ඇරඹේ 

ලොව ප්‍රමුඛතම 20යි 20 ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි අදියර අදින් (31) ආරම්භ වනවා.

පසුගිය තරග වාරයේ දී අයි.පී.එල් තරගාවලිය මුම්බායි, පූනේ හා අහ්මදාබාද් හී දී පමණක් පැවැති නමුත්, මෙවර තරගාවලිය යළිත් සත්කාරක හා සංචාර ආකෘතිය (home and away format) යටතේ පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව සෑම කණ්ඩායමක්ම 2023 තරගාවලියේ දී සිය සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද, සංචාර ලෙස ප්‍රතිවාදී කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩාංගනයේ දී තරග 7 ක් ද ලීග් වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

දින 52 ක් පුරා ලීග් වටයේ තරග 70 ක් ක්‍රීඩාංගන 12 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගාවලිය අද ආරම්භ වන්නේ පසුගියවර ශුරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර අහ්මදාබාද් හී දී පැවැත්වෙන තරගයත් සමගයි.

මෙවර අයි.පී.එල් තරගාවලියේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 18 ක් ද තරග කාලසටහනට ඇතුළත්. දහවල් තරගය පස්වරු 3:30ට ද, රාත්‍රී තරගය 7:30ට ද ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි 28 වැනිදා පැවැත්වෙන අතර, අවසන් වටයේ තරග කාලසටහන හා ක්‍රීඩාංගන ඉදිරියේ දී නිවේදනය කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව් දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව භානුක රාජපක්ෂ පංජාබ් කිංග්ස් කණ්ඩායම සදහා ද, වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සදහා ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා මතීෂ පතිරණ අයි.පී.එල් තරගාවලිය සදහා එක්වන්නේ මේ වන විට ක්‍රියාත්මක නවසීලන්ත තරග සංචාරය නිමා වීමෙන් පසුවයි. (අප්‍රේල් 8 වැනිදායින් පසුව)

මාර්තු 30 : 10:41 pm – මුකේෂ් චෞද්‍රි මෙවර IPL තරගාවලියෙන්ම ඉවතට

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක මුකේෂ් චෞද්‍රිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට චෙන්නායි සංචිතය සදහා වමත් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ආකාශ් සිං ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මාර්තු 30 : 10:25 pm : සන්රයිසස් පළමු තරගයේ නායකත්වය බුවනේෂ්වර්ට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගයේ දී කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම බුවනේෂ්වර් කුමාර්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ඒඩ්න් මාක්‍රම් නෙදර්ලන්තයට එරෙහි තරග දෙකකින් යුත් එක්දින තරගාවලියේ දී දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට නියමිතව සිටින බැවින්. එම තරගාවලිය නිමා වීමෙන් පසුව මාක්‍රම් ලබන 3 වැනිදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

මාර්තු 30 : 9:03 pm – හේසල්වුඩ්ට IPL තරග රැසක් අහිමි වන ලකුණු

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරග කිහිපය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සම්පූර්ණයෙන් සුව නොවීම හේතුවෙන්. ඉන්දීය රුපියල් කෝටි 7.75 ක මුදලකටයි බැංගලෝර් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගනු ලැබුවේ.

Leave a comment