Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට

සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත් වුණා.

ඒ, නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී ඇය දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

මෙම සම්මානය සදහා මෙවර චමරි සමග නිර්දේශ කර තිබුණේ දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt හා Nadine de Klerk ක්‍රීඩිකාවන්.

එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එංගලන්ත කාන්තා කණ්ඩායම 20යි 20 තරගාවලියෙන් පරාජයට පත් කළ අතර, එය ඕනෑම තරග රටාවකින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහනය ලෙසයි ඉතිහාසගත වුණේ.

එම 20යි 20 තරගාවලියේ වීරවරිය ලෙස ද චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවා.

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීම සදහා ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දීමට ඇය සමත් වුණා.

සැප්තැම්බර් මාසයේ දී 33 හැවිරිදි චමරි 20යි 20 තරග 5කදී හා එක්දින තරග 3කදී ලකුණු 208 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය ලකුණු 26 ක් ලෙස සටහන් කර ගනිමින්. එමෙන්ම ඇය කඩුලු 5ක් ද දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගත්තේ ඉන්දියාවේ ෂූබ්මන් ගිල්.

Leave a comment