Ultimate magazine theme for WordPress.

විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියට ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ  ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් යටතේ විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

මේ වන විට 22 වන වියේ පසුවන වියස්කාන්ත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට සමත් වුණා.

ඔහු මීට පෙර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Chattogram Challengers කණ්ඩායම මෙන්ම ILT20 තරගාවලියේ දී MI Emirates කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් (ආසියානු ක්‍රීඩා උළලේ දී) පමණක් ක්‍රීඩා කර ඇති වියස්කාන්ත් මේ වන විට විස්සයි 20 තරග 33 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 42 ක්.

Leave a comment