Ultimate magazine theme for WordPress.

වනිදු අවසන් තරගයට ක්‍රීඩා කරයිද? වනිදු කතා කරයි

තමා හෙට(20) පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව බී-ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිදු හසරංග පවසනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 34 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමින් හසරංග අද(19) මේ බව සදහන් කළා.

මෙම තරගයේ දී පිතිකරණයේ නිරතව සිටියදී මහනුවර නායකයා පාදයක ආබාධයකට ගොදුරු වූ නමුත්, එම ආබාධය ද පසෙකලා ඔහු පිතිකරණයේ නිරත වෙමින් සිය කණ්ඩායම වෙනුවෙන් පන්දු 30 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 3 ක් සමගින් ලකුණු 48 ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

සිය ආබාධය අමතක කළ වනිදු පන්දු යැවීම සදහා ද පිටියට පිවිසි අතර, එහිදී ඔහු පන්දුවාර 4 තුළ ලකුණු 21 කට කඩුලු 2 ක් දවා ගනිමින් සිය කණ්ඩායමට තරගයේ ජයග්‍රහනය සදහා මග විවර කර දුන්නා.

තරගයෙන් පසුව සිය ආබාධය පිළිබද අදහස් දක්වමින් වනිදු කියා සිටියේ තමාට අවසන් මහා තරගය ක්‍රීඩා කිරීම සදහා හැකි බවට තමා දැඩි විශ්වාසයකින් පසුවන බවයි. එමෙන්ම ඒ සදහා සුදුසු යෝග්‍යතාවයකින් තමා පසුවන බව ද ඔහු පෙන්වා දුන්නා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාලු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

ඒ අනුව හෙට(20) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී බී-ලව් කැන්ඩි කණ්ඩායම දඹුල්ල අවුරා කණ්ඩායම සමගින් එල්.පී.එල් සිව්වැනි අදියරේ ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

Leave a comment