Ultimate magazine theme for WordPress.

වනිදුට පළමු තැන අහිමි වෙයි

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(29) නිවේදනය කළා.

ඊට අනුව 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එහි පෙරමුණේ පසු වූ ශ්‍රී ලංකාවේ වනිදු හසරංග දෙවැනි ස්ථානයට ඇදදමමින්. රෂීඩ් ඛාන්ට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 710 ක් හිමිව ඇති අතර, වනිදු හසරංගට හිමිව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 695 ක්.

රෂීඩ් ඛාන් 20යි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය ප්‍රථම වරට හිමි කර ගත්තේ 2018 වසරේ දී යි.

පාකිස්තානයට එරෙහිව පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමත් සමග එම තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව ෆසල්හක් ෆරූකි පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 12 කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්. ඇෆ්ඝනිස්තානයේ මුජිබ් උර් රහ්මාන් 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, කොදෙව් දූපත්හි අල්සාරි ජෝසප් 33 වැනි ස්ථානය දක්වා ස්ථාන 17 කින් ඉදිරියට පැමිණ ඇති අතර, කොදෙව් පිතිකරු ජොන්සන් චාර්ල්ස් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානය දක්වා ස්ථාන 92 කින් ඉදිරියට පැමිණ තිබනෙවා.

දකුණු අප්‍රිකාවේ රයිලි රොසෝව් පිතිකරුවන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්. රීසා හෙන්ඩ්‍රික්ස් 12 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා එක්දින පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ ඇති අතර, එක්දින පිතිකරුවන් අතර 8 වැනි ස්ථානය දක්වා ඉන්දියාවේ රෝහිත් ෂර්මා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

Leave a comment