Ultimate magazine theme for WordPress.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා මේ වන විට රටවල් 9 ක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලිය සදහා අද(2) සුදුසුකම් ලැබීමත් සමගයි. මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 24 වැනි තරගයෙන් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුුලු 9 ක ජයක් වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව යන රටවල් ද ලෝක කුසලානය සදහා තරග කිරීමට නියමිතයි.

පසුගිය 27 වැනිදා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කළ අතර, ඒ වන විට ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සුදුසුකම් ලබා නොතිබූ බැවින් එම තරග කාලසටහනට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරග කාලසටහනෙහි Qualifier 2 ලෙස සලකන බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබුණා.

ඒ අනුව ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 7 වැනිදා දිල්ලි හී දී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

අනතුරුව ශ්‍රී ලංකාව ඔක්තෝබර් 12 වැනිදා පාකිස්තානයට එරෙහිව හයිදරාබාද් හී දී තරග වැදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තෙවැනි තරගය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.

ඊළග තරගය ද ලක්නව් හී දී ම ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදායි. මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අනෙක් රටට එරෙහිව එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 26 වැනිදා එංගලන්තයට එරෙහිව බැංගලූරුහී දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන 6 වැනි තරගය පැවැත්වෙන්නේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඔක්තෝබර් 30 වැනිදායි. පූනේ හී දී එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් දෙවැනිදායි. ඒ, මුම්බායි ක්‍රීඩාංගනයේ දී යි.

නොවැම්බර් 6 වැනිදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන අවසන් තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයට එරෙහිවයි. නොවැම්බර් 9 වැනිදා බැංගලූරුහී දී එම තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඉන්දියාවේ ක්‍රීඩාංගන 10 කදී දින 46 ක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර, තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.

Leave a comment