Ultimate magazine theme for WordPress.

“පැමිණිලි කරනවා වෙනුවට රට වෙනුවෙන් තරග ජයගැනීම ආරම්භ කරන්න” : අරවින්ද

පැමිණිලි කිරීම පසෙකලා රට වෙනුවෙන් තරග ජයග්‍රහනය කිරීම ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

නව කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ක්‍රීඩකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්යෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

නව කොන්ත්‍රාත්වලදී ඇතැම් ක්‍රීඩකයින්ට වැටුප් කප්පාදුවක් සිදු කර තිබූ අතර, ඊට බොහෝ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සිය විරෝධය පල කර තිබෙනවා.

විශේෂයෙන්ම නව ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබද ගැටලු පවතින බවයි ක්‍රීඩකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, අරවින්ද ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින් මීට එකගතාවය පල නොකිරීම අසාධාරණ බවයි.

විශේෂයෙන්ම තරගාවලි ජය ගන්නා විට හිමිවන දීමනා ඉහළ නැංවීමට තීරණය කර ඇති බැවින් ක්‍රීඩකයින් මෙම කොන්ත්‍රාත් සදහා විරුද්ධත්වය පල කිරීම අසාධාරණ බව ඔහුගේ මතයයි.

නව කොන්ත්‍රාත් සකස් කිරීමේ කාර්යය අරවින්ද ද සිල්වා මහතා ප්‍රධානීත්වය දරන තාක්ෂණික උපදේශන කමිටුවේ සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩිගේ ද සහභාගීත්වයෙනුයි සිදු කරනු ලැබුවේ.

“එය ක්‍රීඩකයින්ට ඉදිරිපත් කිරීමට පෙර අපි ඒක ගැඹුරින් සාකච්ඡා කළා” යනුවෙන් අරවින්ද ද සිල්වා මහතා ඩේලි නිව්ස් වෙත සදහන් කළා.

“අතීතයේ දී වගේ නෙවෙයි, අපි ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කරලා තියෙනවා. නමුත්, තනිකරම කණ්ඩායමේ දක්ෂතා මත. ඔවුන් ටෙස්ට් තරගාවලියක් ජය ගතහොත් අපි ඔවුන්ට ගෙවනවා අමෙරිකානු ඩොලර් 150,000 ක් (රුපියල් කෝටි 3 ක්), එය මීට පෙර ඇමරිකානු ඩොලර් 50,000 කටයි සීමා වුණේ.”

කෙසේ වෙතත්, එම මුදල ලබා දෙනු ලබන්නේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම ටෙස්ට් තරගාවලියකින් පරාජය කිරීමට සමත් වුවහොත් පමණයි.

තරගාවලි ජය ගන්නා විට ප්‍රතිවාදී කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටින ස්ථානය අනුවයි ඔවුන්ට ලැබෙන දීමනාව තීරණය කරනු ලබන්නේ. (ඒ ඒ ශ්‍රේණිගත කිරීම්හි පසුවන කණ්ඩායම්වලට එරෙහිව ලබන තරගාවලි ජයකදී ලැබෙන දීමනා පිළිබද සම්පූර්ණ තොරතුරු කියවීමට මෙතන ක්ලික් කරන්න)

එක්දින තරග රටාවේ දී ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන කණ්ඩායම තරගාවලියකින් පරාජයට පත් කළහොත් ඩොලර් 75,000ක මුදලක් ද ලබා දීමට නියමිතයි.

20යි 20 තරගාවලියකදී ලබන ජයග්‍රහනයකදී පසුගියවර කිසිදු දීමනාවක් ලබා දීමට කටයුතු කර නොතිබූ නමුත්, මෙවර ඒ සදහා ද දීමනා ලබා දීමට තීරණය කර තිබෙනවා. (ශ්‍රේණිගත කිරීම්හි අංක 1 කණ්ඩායම තරගාවලියකින් පරාජය කළහොත් ඩොලර් 50,000ක දීමනාවක් හිමිවේ.)

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ දී ඓතිහාසික තරගාවලි පරාජයක් ලබා ඇති පසුබිමක අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වෙමින් තරග ජය ගැනීම වැදගත්ම කාරණය බවයි.

“වැදගත්ම කාරණය තමයි එයාලා ක්‍රීඩාංගනයට ගිහිං ධනාත්මක ක්‍රිකට් සෙල්ලම් කරන එක. පැමිණිලි කරනවා වෙනුවට රට වෙනුවෙන් තරග ජයගැනීම ආරම්භ කරන්න.”

“කණ්ඩායම වටිනාකමක් නිර්මාණය කරන්නේ නම්, ඔවුන්ගේ දිරි දීමනා ද ඉහළ යාවි”

අදාළ දීමනාවලට අමතරව ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමේ දී ක්‍රීඩකයෙකුට ගෙවනු ලබන තරග ගාස්තු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 7,500 (රුපියල් ලක්ෂ 15) දක්වා ද ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ටෙස්ට් තරගයක් සදහා ගෙවනු ලැබූ මුදල වූයේ ඩොලර් 7,000ක්.

එක්දින සහ 20යි 20 තරග සදහා වන තරග ගාස්තුවල සංශෝදනයක් සිදු කර නැහැ.(පිළිවෙලින් ඩොලර් 5,000ක් හා 4,000ක්)

කෙසේ වෙතත්, අසාධාරණ සහ විනිවිදභාවයක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් සූදානම් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනෙකු වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා මීට පෙර සදහන් කළේ.

“Federation of International Cricketers’ Association (FICA) ලැබුණු තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දන්වා ඇති නව පරිශ්‍රමිකය (ගෙවීම්) ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවල ක්‍රීඩකයන් හා සසදන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පාරිශ්‍රමිකය(ගෙවීම්) ඉතා පහළ මට්ටමක පවතී” යනුවෙන් එම නිවේදනයේ සදහන් වුණා.

කොන්ත්‍රාත් ගත කිරීමේ දී සිදු කෙරෙන වර්ගීකරණයට ලකුණු ලබා දුන් ක්‍රමය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවෙන් (නිලවරණයට පෙර පරිපාලනය සිදු කළ කමිටුව) තොරතුරු ලබා දී තිබුණ ද, එම ක්‍රමවේදය ප්‍රකාරව ක්‍රීඩා කෞශල්‍ය, ශාරිරික යෝග්‍යතාව, නායකත්වය හා වෘත්තීමය තත්ත්වය යන කරුණු යටතේ ලකුණු ප්‍රදානය කළේ කෙසේද යන්න සදහන් වන එක් එක් ක්‍රීඩකයාට අදාළ තක්සේරු පත්‍රිකා කිසිදු ක්‍රීඩකයෙකුට ලබා දී නොමැති බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දුන්නා.

ඒ අනුව වර්ගීකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සදහා එක් එක් ක්‍රීඩකයාගේ තක්සේරු ලකුණු පිළිබදව එම ක්‍රීඩකයාට දැනුම් දිය යුතු බව සියලු ක්‍රීඩකයින්ගේ ඒකමතික තීරණය වී ඇති බව නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා සදහන් කළා.

ශ්‍රී ලංකාව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පහතට ඇද වැටී ඇති බව ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිගන්නා නමුත් ඊට සම්පූර්ණ වගකීම භාර ගැනීමට ඉල්ලා සිටීම සාධාරණ නොවන බව අදාළ නිවේදනයේ සදහන් කර තිබුණා.

SLPL තරගාවලිය නිසි පරිදි පැවැත්වීමට අපොහොසත් වීම, ක්‍රීඩා සමාජ 12 සිට 24 දක්වා ඉහළ නැංවීම මෙන්ම ප්‍රාදේශීය ක්‍රිකට් ක්‍රීඩා තරගාවලි පිළිවෙලක් සහිතව නොපැවැත්වීම යන කරුණු ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පහත වැටීමට හේතු වී ඇති බව නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා ක්‍රීඩකයින් වෙනුවෙන් නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

“යම් සංවිධානයක් විසින් එවැනි හෙළිදරව් කිරීම් (වැටුප් පිළිබද) සිදු කර එම සංවිධානයේ එක් සේවක අංශයක් සම්බන්ධයෙන් පමණක් එසේ හෙළිදරව් කිරීමට උත්සාහ දැරීම කනගාටුදායක තත්ත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කලමනාකරණ කමිටුවේ ක්‍රියාකලාපය ක්‍රීඩකයින්ට විශාල වශයෙන් බලපාන බවත්, එමගින් ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසයට සහ නිදහස් මනසකින් ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාවට අහිතකර බලපෑමක් ද සිදු කර ඇත. තවද ගෙවිම් සම්බන්ධයෙන් කරනු ලබන මෙවැනි ඒකපාර්ශ්වික හෙළිදරව් කිරීම් මගින් සෑම ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව බරපතල අහිතකර තත්ත්වයක් උදාකර ඇත.”

Leave a comment