Ultimate magazine theme for WordPress.

තරගාවලි ජයකට උපරිමය කෝටි 3ක්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු සහ දීමනා ඉහළට

ටෙස්ට් තරග සදහා ක්‍රීඩා කිරීමේ දී ක්‍රීඩකයෙකුට ගෙවනු ලබන තරග ගාස්තු ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 7,500 (රුපියල් ලක්ෂ 15) දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර ටෙස්ට් තරගයක් සදහා ගෙවනු ලැබූ මුදල වූයේ ඩොලර් 7,000ක්.

කෙසේ වෙතත්, එක්දින සහ 20යි 20 තරග සදහා වන තරග ගාස්තුවල සංශෝදනයක් සිදු කර නැහැ.(පිළිවෙලින් ඩොලර් 5,000ක් හා 4,000ක්)

ක්‍රීඩකයින් සමග අත්සන් කරනු ලබන නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් බළධාරීන් මේ බව අනාවරණය කළා.

පෙර පැවැති ගිවිසුම් ප්‍රකාරව ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථාන 7 හි පසුවන කණ්ඩායම්වලට එරෙහිව තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමේදී ඩොලර් 25,000 ක දීමනාවක් ලබා දුන් නමුත්, නව ක්‍රමවේදය යටතේ එහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන කණ්ඩායම ටෙස්ට් තරගාවලියකින් පරාජය කිරීමට සමත් වුවහොත් ඩොලර් 150,000 (රුපියල් 30,000,000) මුදලක් ලබා දෙනු ලබනවා.

දෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායම පරාජය කළහොත් ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසක් ද, තෙවැනි ස්ථානයේ රැඳී සිටින කණ්ඩායම පරාජයට පත් කළහොත් ඩොලර් ලක්ෂයක මුදලක්ද ලබා දීමට නියමිතයි.

සිව්වැනි, පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානවල පසුවන කණ්ඩායම් පරාජය කළහොත් පිළිවෙළින් ඩොලර් 80,000ක්, 60,000ක්, 45,000ක් සහ 30,000ක් පිරිනැමෙනු ඇති.

8 වැනි සහ 9 වැනි ස්ථානවලට එරෙහිව ලබන තරගාවලි ජයග්‍රහනයකදී ලැබෙන මුදල වන්නේ පිළිවෙලින් ඩොලර් 20,000ක් සහ 10,000ක්.

එක්දින තරග රටාවේ දී ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවන කණ්ඩායම තරගාවලියකින් පරාජයට පත් කළහොත් ඩොලර් 75,000ක මුදලක් ලබා දීමට නියමිතයි.

අංක 2 පරාජය කළහොත් ඩොලර් 62,500ක මුදලක්ද, අංක 3 පරාජය කළහොත් ඩොලර් 50,000ක මුදලක් ද, අංක 4 පරාජය කළහොත් ඩොලර් 40,000ක මුදලක් ද, අංක 5 පරාජය කළහොත් ඩොලර් 30,000ක මුදලක් ද දීමනා වශයෙන් ලබා දෙනු ඇති.

ශ්‍රේණිගත කිරීම්හි අංක 6, 7, 8, 9 යන ස්ථානවල කණ්ඩායම් එක්දින තරගාවලියකින් පරාජය කළහොත් හිමිවන මුදල පිළිවෙලින් ඩොලර් 22,500, 15,000, 10,000 සහ 5,000ක්.

20යි 20 තරගාවලියකදී ලබන ජයග්‍රහනයකදී පසුගියවර කිසිදු දීමනාවක් ලබා දීමට කටයුතු කර නොතිබූ නමුත්, මෙවර ඒ සදහා ද දීමනා ලබා දීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි අංක 1 කණ්ඩායම තරගාවලියකින් පරාජය කළහොත් ඩොලර් 50,000ක්, අංක 2 පරාජය කළහොත් ඩොලර් 42,500ක්, අංක 3 පරාජය කළහොත් ඩොලර් 35,000ක්, අංක 4 පරාජයට කළහොත් ඩොලර් 30,000ක්, අංක 5 පරාජය කළහොත් ඩොලර් 20,000ක් ලබා දීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඊට අමතරව අංක 6, 7, 8, 9 යන ස්ථානවල පසුවන කණ්ඩායම් පරාජයට පත් කළහොත් පිළිවෙලින් ඩොලර් 15,000ක්, 10,000ක්, 7,500ක් සහ 5,500 ලබා දීමට කටයුතු කරනු ඇති.

මේ අතර, ලෝක කුසලාන තරගාවලි සදහා සහභාගී වීමේ දී සහ එහිදී දක්වන දක්ෂතා මත ගෙවනු ලබන මුදල්වල ද යම් යම් සංශෝදන සිදු කර තිබෙනවා.

SLC

පසුගිය වසරේ දී ක්‍රීඩකයින් 32 දෙනෙකු සදහා කොන්ත්‍රාත් ලබා දී තිබුණ ද, මෙවර ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින් 24 දෙනෙකු සඳහා පමණක් ප්‍රධාන කොන්ත්‍රාත් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි සහ අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව විසින් නව වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමවේදය සකස් කර තිබෙනවා.

එහිදී ක්‍රීඩකයින්ගේ දස්කම් 50% ක්, ශාරීරික යෝග්‍යතාව 20% ක්, ක්‍රීඩකයින්ගේ ස්වාධීන සූදානම 10% ක්, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම 10% ක් සහ අනාගත වැඩදායී බව වෙනුවෙන් 10% ක් වශයෙන් ප්‍රසාද ලකුණු ක්‍රමයක් භාවිතා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

“ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගත කිරීමේදී ලොව පුරා භාවිතා කරන ක්‍රමවේද අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මෙම ක්‍රමවේදය සකස් කළේ. මගේ අත්දැකීමට අනුව රටවල් බොහොමයක් තවමත් නිවැරදිම ක්‍රියාවලිය මොකද්ද කියන එක හොයා ගන්න උත්සාහ කරනවා.” යනුවෙන් ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් අදහස් පල කළ කරමින් සදහන් කළා.

අදාළ කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින්ගෙන් 18 දෙනෙකු මේ වන විට එක්දින තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශයට පිටත්ව ගොස් සිටිනවා.

ඒ අනුව කොන්ත්‍රාත්තුවලට අත්සන් කිරීම සඳහා ලබන ජුනි 03 වැනිදා දක්වා ඔවුන්ට කාලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි අරවින්ද ද සිල්වා මහතා සදහන් කළේ.

කොන්ත්‍රාත් හිමිව ඇති ආකාරය –

  • A1 කාණ්ඩය – ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල (ඩොලර් 100,000)
  • A2 කාණ්ඩය – කුසල් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස් (ඩොලර් 80,000)
  • A3 කාණ්ඩය – කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න (ඩොලර් 70,000)
  • B1 කාණ්ඩය – සුරංග ලක්මාල්, දසුන් ශානක (ඩොලර් 65,000)
  • B2 කාණ්ඩය – වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය (ඩොලර් 60,000)
  • B3 කාණ්ඩය – පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න (ඩොලර් 55,000)
  • C1 කාණ්ඩය – දුෂ්මන්ත චමීර, කසුන් රාජිත (ඩොලර් 50,000)
  • C2 කාණ්ඩය – දිනේෂ් චන්දිමාල්, ලක්ෂාන් සදකැන් (ඩොලර් 45,000)
  • C3 කාණ්ඩය – විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන (ඩොලර් 40,000)
  • D1 කාණ්ඩය – ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් (ඩොලර් 35,000)
  • D2 කාණ්ඩය – ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක (ඩොලර් 30,000)
  • D3 කාණ්ඩය – අශේන් බණ්ඩාර, අකිල ධනංජය (ඩොලර් 25,000)
  • Domestic development contract – ක්‍රීඩකයින් 6 ක් (ඩොලර් 15,000)
Leave a comment