Ultimate magazine theme for WordPress.

දෙවන වරටත් කිංග්ස් පැරද වූ ග්ලැඩියේටර්ස්වරු Qualifier 1 තරගයට සුදුසුකම් ලබයි

Match Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය සදහා සුුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ තරගාවලියේ 19 වැනි තරගයෙන් ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.

නායක භානුක රාජපක්ෂ ලකුණු 23ක් ද, ධනුෂ්ක ගුණතිලක ලකුණු 19ක් ද රැස් කළ අතර, පන්දු යැවීමේ දී වහබ් රියාස්, ප්‍රවීන් ජයවික්‍රම හා විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 109ක් පමණයි.

ෂොයිබ් මලික් ලකුණු 23ක් රැස් කළ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 21යි. අශේන් බණ්ඩාර පන්දු 9කින් හයේ පහර 2ක් සමගින් ලකුණු 18ක් ලබා ගනිමින් කිංග්ස් ඉනිමට යම් බලාපොරොත්තුවක් අවසන් මොහොතේ ගෙන ඒමට සමත් වුවත්, ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සියලු බලාපොරොත්තු ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් ලකුණු 15කට කඩුලු 2ක් හා නූර් අහ්මඩ් ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලුවා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග 8න් තරග 2ක් පමණක් පරාජයට පත් වූ අතර, එම තරග දෙකම ඔවුන් පරාජයට පත් වූයේ ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ වීම විශේෂත්වයක්.

මෙම ජයත් සමග අවසන් වටයේ පළමු තරගයට හෙවත් Qualifier 1 තරගයට සුදුසුකම් ලැබූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම එම තරගයේ දී ද ක්‍රීඩා කරන්නේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වන කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගනු ඇති.

Leave a comment