Ultimate magazine theme for WordPress.

තාකූර්ගේ කඩුලු පහ හා ස්ටොයිනිස්ගේ 58 ලක්නව් පිලට ජය ගෙනෙයි

Match Report

යශ් තාකූර් බිද හෙලූ කඩුලු පහ හා මර්කස් ස්ටොයිනිස් වාර්තා කළ අර්ධ ශතකය හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 33 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.

ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 6 ක් තුළ ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ෂුබ්මන් ගිල් හා සායි සුදර්සන් සමත් වූ පසුබිමකයි ටයිටන්ස් කණ්ඩායමෙන් මෙම තරගයේ ජයග්‍රහනය ගිලිහී ගියේ.

පළමු කඩුල්ල දැවී යාමෙන් අනතුරුව විශිෂ්ඨ අන්දමින් සටනට අවතීර්ණ වූ ලක්නව් පන්දු යවන්නන් ගුජරාට් පිලේ සියලු බලාපොරොත්තු බොද කර දැමුවා.

සායි සුදර්සන් ලකුණු 31 ක්, ෂුබ්මන් ගිල් ලකුණු 19 ක් රැස් කළ අතර, විජයි ශන්කර් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 17 ක්. රාහුල් තෙවාටියා ලකුණු 30(25) යි.

පන්දු යැවීමේ දී යශ් තාකූර් කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්. කෘනාල් පාන්ඩ්යා ලකුණු 11 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් පිල වෙනුවෙන් ස්ටොයිනිස් ලකුණු 58 ක් රැස් කළේ පන්දු 43 කින්. හයේ පහර 2 ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නිකලස් පූරාන් පන්දු 22 කින් නොදැවී ලකුණු 32 ක් ලබා ගනිමින් ඉනිමට අවශ්‍ය අවසානය ලබා දුන්නේ හයේ පහර 3ක් ද සමගින්. කේ එල් රාහුල් ලකුණු 33 යි.

පන්දු යැවීමේ දී උමේෂ් යාදව් හා දර්ශන් නාල්කන්ඩේ කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Leave a comment