තණතීරු මාරු කිරීමේ චෝදනාවට අයි.සී.සීයෙන් පිළිතුරු

ඉන්දියාවට වාසි සහගත වන පරිදි මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ තණතීරුව වෙනස් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය මේ වන විට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මුම්බායි ක්‍රීඩාංගනයේ භාරකරුගේ නිර්දේශ මත මෙම වෙනස් කිරීම සිදු කළ බවයි අයි.සී.සිය පෙන්වා දෙන්නේ.
ඉන්දියාව හා නවසීලන්තය අතර අද පැවැත්වෙන තරගය සදහා පළමුව යොදා ගැනීමට තීරණය කර තිබුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ අංක 7 තණතීරුවයි. එම තණතීරුව මෙම තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් සදහා යොදා ගෙන නැහැ.
කෙසේ වෙතත්, පසුව එම තීරණය වෙනස් කර පළමු අවසන් පූර්ව තරගය තණතීරු අංක 6 තුළ ක්‍රීඩා කිරීමටයි පියවර ගැණුනේ. එම තණතීරුව මීට පෙර මෙවර ලෝක කුසලානයේ දී තරග දෙකක් සදහා යොදා ගෙන ඇති තණතීරුවක්.
ඉන්දීය දග පන්දු යවන්නන්ට වාසි සහගත වන පරිදි මෙම පියවර ගෙන ඇත්තේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතියකින් තොරව බවටයි බ්‍රිතාන්‍යයේ dailymail මාධ්‍ය ආයතනය අනාවරණය කර තිබුණේ.
මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අයි.සී.සී ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ සැලසුම් කළ තණතීරු මාරු කිරීම මෙවැනි දීර්ඝ තරගාවලියක අවසන් භාගයේ දී සාමාන්‍යයෙන් සිදු වන්නක් බවයි.
එය අවස්ථා කිහිපයකදී මේ වන විටත් සිදුව ඇති බව එම ප්‍රකාශකයා අවධාරණය කර තිබෙනවා.
“මෙම වෙනස අපගේ සත්කාරක ක්‍රිකට් ආයතනය සමඟ එක්ව ක්‍රීඩාංගන භාරකරුගේ නිර්දේශය මතයි සිදු කළේ. මෙම වෙනස පිළිබඳව ICC ස්වාධීන තණතීරු උපදේශකවරයා දැනුවත් කර ඇති අතර, තණතීරුව හොඳින් ක්‍රීඩා නොකරනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් නැහැ” යනුවෙන් අයි.සී.සී ප්‍රකාශකයා පවසා තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය අහ්මදාබාද් හී දී පැවැති අතර, එම තරගයෙන් පසුව එම ක්‍රීඩාංගනයේ දී පැවැති සෙසු තරග තුනේම තණතීරු පෙර සැලසුම් කළ තණතීරුවල ක්‍රීඩා කර නොමැති බවට ද චෝදනා එල්ල වුණා.
“නිසි දැනුම්දීමකින් හෝ පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව” මෙම තණතීරු සංශෝදනය සිදු කර ඇති බවටයි අයි.සී.සී තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන් අයි.සී.සීය වෙත ඊමේල් පණිඩිවයක් යොමු කරමින් සදහන් කර තිබුණේ.