Ultimate magazine theme for WordPress.

අද තරගය ඇතුළුව ලෝක කුසලානයේ දී ඉන්දියාව කරපු හොර වැඩක් ICC බළධාරියෙක් හෙළි කරයි

ඉන්දියාව හා නවසීලන්තය අතර මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද(15) පැවැත්වීමට නියමිත පළමු අවසන් පූර්ව තරගය සදහා යොදා ගැනීමට නියමිත තණතීරුවෙහි වෙනසක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙන් සිදුව ඇති බවට චෝදනා එල්ල වනවා.

ඉන්දීය දග පන්දු යවන්නන්ට වාසි සහගත වන පරිදි මෙම පියවර ගෙන ඇත්තේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ අනුමැතියකින් තොරව බවටයි බ්‍රිතාන්‍යයේ dailymail මාධ්‍ය ආයතනය අනාවරණය කර ඇත්තේ.

අයි.සී.සී තරගාවලියන් හී දී තණතීරු සකස් කරන්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන්ගේ අධීක්ෂණය යටතේයි.

අද තරගය සදහා පළමුව යොදා ගැනීමට තීරණය කර තිබුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ අංක 7 තණතීරුව තුළ බව සදහන්.  එම තණතීරුව මෙම තරගාවලියේ දී මෙතෙක් කිසිදු තරගයක් සදහා යොදා ගෙන නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට එම තීරණය වෙනස් කර පළමු අවසන් පූර්ව තරගය තණතීරු අංක 6 තුළ ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා. එම තණතීරුව මේ වන විටත් මෙවර ලෝක කුසලානයේ දී තරග දෙකක් සදහා යොදා ගෙන ඇති තණතීරුවක්.

එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතර තරගයත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයත් පවත්වා තිබුණේ එම තණතීරුව තුළයි.

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් හා අයි.සී.සී බලධාරීන් 50 දෙනෙකුට අධික පිරිසකට යොමු කළ WhatsApp පණිවිඩයක් ඔස්සේ මෙම තණතීරු හුවමාරු කිරීම තහවුරු වී තිබෙනවා.

අද තරගය පැවැත්වීමට පළමුව නියමිතව තිබූ තණතීරුවේ යම් ගැටලුවක් ඇති බවට අයි.සී.සී තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන්ට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය දග පන්දු යවන්නන්ට වාසි සහගත වන පරිදි මන්දගාමී තණතීරුවක් අද තරගය සදහා යොදා ගැනීම මෙලෙස තණතීරුව වෙනස් කිරීමට හේතු වී ඇති බවත්, අවසන් මහා තරගයට ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත් එම තරගය සදහා යොදා ගන්නා තණතීරුව ද මෙලෙස වෙනස් කිරීමට කටයුතු කරමින් සිටින බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

අවසන් මහා තරගය එළඹෙන 19 වැනිදා අහ්මදාබාද්හී දී පැවැත්වීමට නියමිතව ඇති අතර, දග පන්දු යවන්නන්ට වඩාත් වාසි සහගත තණතීරුවක එම තරගය පැවැත්වීම සදහා තණතීරු සංශෝදනයක් සිදු කර ඇති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය අහ්මදාබාද් හී දී පැවැති අතර, එම තරගයෙන් පසුව එම ක්‍රීඩාංගනයේ දී පැවැති සෙසු තරග තුනේම තණතීරු පෙර සැලසුම් කළ තණතීරුවල ක්‍රීඩා කර නොමැති බවට ද චෝදනා එල්ල කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන් විසින් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත ඊමේල් පණිවිඩයක් ද මේ වන විට යොමු කර තිබෙනවා.

“නිසි දැනුම්දීමකින් හෝ පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව” මෙම තණතීරු සංශෝදනය සිදු කර ඇති බවටයි ඇන්ඩි ඇට්කින්සන් එම ඊමේල් පණිඩිවය ඔස්සේ සදහන් කර ඇත්තේ.

ඔහු මේ සදහා අවසර ලබා දුන්නේ කවුරුන් විසින්දැයි විමසා සිටීමේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ එය ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් සිදු කර ඇති බවටයි.

කෙසේ වෙතත්, ගුජරාට් ක්‍රිකට් සංගමය පවසන්නේ තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කරන බවයි. තවද ඉන්දීය කණ්ඩායම් කළමනාකාරීත්වය සෘජුවම කරන ලද ඉල්ලීම් මත එය සිදුව ඇති බව සදහන්.

“මෙම ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස, කණ්ඩායම් කළමනාකාරීත්වයේ සහ/හෝ දේශීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම මත ඔවුන්ගේ නියමයට අනුව විශේෂයෙන් තෝරාගෙන සකස් කර ඇති තණතීරුවක් අවසන් මහා තරගයක් සදහා යොදා ගන්නා පළමු ක්‍රිකට් ලෝක කුසලානය මෙය වේයැයි අනුමාන කළ හැකියි.” යනුවෙන් අයි.සී.සී තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන් සිය ඊමේල් පණිඩිවයේ සදහන් කර තිබෙනවා.

Leave a comment