Ultimate magazine theme for WordPress.

අළුබදුනේ වීරයාට ICC සම්මානයක්

ජූලි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමි කර ගැනීමට එංගලන්ත වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සමත්ව තිබෙනවා.

ඒ, නිමා වූ අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

ඔහුට අමතරව එංගලන්ත පිතිකරු සැක් ක්‍රව්ලි හා නෙදර්ලන්තයේ Bas de Leede ද මෙම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබුණා.

අළුබදුන ටෙස්ට් තරගාවලියේ පළමු තරග දෙක සදහා ක්‍රිස් වෝක්ස් ඇතුළත්ව නොසිටි අතර, එම තරග දෙකම එංගලන්තය පරාජයට පත් වුණා.

වසරකටත් වැඩි කාලයකින් පසුව ටෙස්ට් කණ්ඩායමට පිවිසි වෝක්ස් තෙවැනි අළුබදුන තරගයේ ඉනිම් දෙකේ දී කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

සිව්වැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම් දී වෝක්ස් කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

අළුබදුන තරගාවලියේ දී ටෙස්ට් තරග 3කදී ඔහු දවා ගත් කඩුලු ගණන 19ක්. වැදගත් ලකුණු 79 ක් පිත්තෙන් වාර්තා කරමින් ද ඔහු එංගලන්ත කණ්ඩායමට සිය දායකත්වය ලබා දුන්නා.

එම දක්ෂතා හේතුවෙන් ක්‍රිස් වෝක්ස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර, අයි.සී.සී මාසයේ ක්‍රීඩිකාව ලෙස මෙවර සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔස්ට්‍රේලියාවේ Ashleigh Gardner. ඇය මෙම සම්මානය මේ වන විට සිව්වරක් හිමි කර ගෙන ඇති අතර, අඛණ්ඩව එම සම්මානය ජයග්‍රහනය කළ දෙවැනි අවස්ථාව මෙයයි.

Leave a comment