Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ඇමතිගෙන් තීරණයක් ; අයි.සී.සීයටත් ලිපියක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ගත් තීරණය අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබෙනවා.

අතුරු කමිටුවක් පත් කිරීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අදාළ ගැසට් පත්‍රයට තමන් අත්සන් කළ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගැනීමේ අරමුණින් තමන් මෙම පියවර ගත් බව ද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට දැනුම් දුන් බවත් හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන ලෙසට අයි.සී.සීය වෙත ද ලිඛිතව දැනුම් දුන් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය පසුගිය නොවැම්බර් 05 වන දින සිට අත්හිටුවමින් හා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ දූෂණ චෝදනා සැලකිල්ලට ගනිමිනුයි.

කෙසේ වෙතත්, එම අතුරු කමිටුව සහ එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නොවැම්බර් 7 වැනිදා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අනතුරුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වූ දේශපාලන මැදිහත් වීම් සැලකිල්ලට ගනිමින් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත්තා.

අතුරු කමිටුවට එරෙහි නඩු විභාගය අවසන් වීමට පෙර හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තේ.

Leave a comment