Ultimate magazine theme for WordPress.

දසුන් තමයි එතනදි හොදම කෙනා ; සනත්ට එරෙහිව මාව පරීක්ෂා කරගන්න කැමතියි : හර්ෂාල්

මෑත ඉතිහාසයේ දී IPL තරගාවලියෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සොයා ගත් හොඳම වේග පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ හර්ෂාල් පටෙල්ගේ නමත් ඉදිරියෙන්ම පවතින බව සදහන් කළ හැකියි.

31 වන වියේ පසු වන හර්ෂාල් IPL වරම් දිනා ගත්තේ 2012 වර්ෂයේ දී යි.

නමුත් ඔහුට ඉහළ දක්ෂතා අතරට පැමිණීමට හැකියාව ලැබුඛේ නිමා වුණ 2021 IPL තරගාවලියේදීයි.

එම තරගාවලියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් තරග 15 ක් ක්‍රීඩා කළ ඔහු එහිදී බිඳ හෙලූ සමස්ථ කඩුලු සංඛ්‍යාව 32 ක්.

එම තරග වාරයේ වැඩිම කඩුලුලාභියා බවට පත්වුණේ ද හර්ෂාල් පටෙල්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී විස්සයි විස්ස තරග 8 කට ක්‍රීඩා කර ඇති ඔහු කඩුලු 11 ක් බිඳ හෙලීමට සමත්වුණා.

මනා පන්දු සංකලනයක් සහිතව පන්දු යොමු කරන ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ ප්‍රධාන අවියක් බවට පත්ව ඇත්තේ වේගය අඩාල කර යවනු ලබන පන්දුවයි.

හර්ෂාල් පටෙල්ට ආවේනික වූ වේගය අඩාල කර යොමු කරන පන්දු හමුවේ නම් දැරූ පිතිකරුවන් පවා දැවී ගිය අයුරු ඔබ දකින්නට ඇති.

පසුගිය දා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග වැඩසටහනකට එක්වෙමින් හර්ෂාල් පටෙල් සිය වේගය අඩාල කරන පන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

ඒ, ඔහුට යොමු කෙරෙණු පැනයකට පිළිතුරු දෙමින්.

ප්‍රශ්නය – වේගය අඩාල කළ පන්දුවලට වඩාත් හොඳින් පිතිකරණයේ නියැලෙන ක්‍රීඩකයා කව්ද ?

ඊට පිළිතුරු ලබා දෙමින් හර්ෂාල් පටෙල් මෙලෙස අදහස් පල කළා.

“හොඳ ප්‍රශ්ණයක්.. මම හිතන්නේ දසුන් ශානක.. මම ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග හෝ IPL තරග ගත්තොත් ඔහු තමයි හොඳම…ඔහු එකක් නෑර මගේ හැම වේගය අඩාල කළ පන්දුවක්ම කලින්ම හඳුන ගත්තා…”

පසුගිය ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලිය නැරඹූ අයෙකු නම් හර්ෂාල් පටෙල්ගේ මෙම පිළිතුර සම්බන්ධයෙන් වඩාත් හොඳ අවබෝධයක් ඔබටත් පවතිනවා විය හැකියි.

මේ අතර, මෙම වැඩසටහනේ දී යොමු කළ තවත් පැනයකට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පිළිබදව ද හර්ෂාල් පටෙල් සිහිපත් කළා.

ප්‍රශ්නය – ඉතිහාසයේ සිටි පිතිකරුවන් අතරින් ඔබ පන්දු යැවීමට කැමතිම ක්‍රීඩකයා කවුද?

පිළිතුර – මම කැමතියි මගේ දක්ෂතාවය පරීක්ෂා කර බලන්න සනත් ජයසූරියට එරෙහිව”

Leave a comment