Ultimate magazine theme for WordPress.

තුවක්කු එපා, අසාධාරණ ගිවිසුම් අත්සන් කරන්නේ නෑ – ක්‍රීඩකයින්ගෙන් රතු එළියක්

අසාධාරණ සහ විනිවිදභාවයක් නොමැති ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් සූදානම් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 24 දෙනෙකු වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා පවසනවා.

ක්‍රීඩකයින්ගේ ගිවිසුම්වල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා මැදිහත් වීම සදහා ක්‍රීඩකයින් විසින් පත් කරන ලද නිල නියෝජිතයා වශයෙන් තමා ඔවුන් වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කරන බවයි ඔහු සදහන් කළේ.

ගිවිසුම් අත්සන් කිරීම සදහා තුවක්කු එල්ල කර ක්‍රීඩකයින් අසාධාරණ ලෙස පෙළඹවීමට උත්සාහ නොකරන ලෙසත්, ඒ සදහා අවසාන දිනයන් ලබා දීම සිදු නොකරන ලෙසත් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටින බව අදාළ නිවේදනයේ සදහන්.

පසුගිය 19 වැනිදා මාධ්‍ය හමුවක් කැදවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරන කමිටුව විසින් ක්‍රීඩකයින්ට ගෙවනු ලබන කොන්ත්‍රාත් ගාස්තු සම්බන්ධයෙන් පමණක් කරුණු මහජනතාව වෙත ඉදිරිපත් කර ඇති බවයි නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පූර්ණ ඉපයීම් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට, පරිපාලකයින්ට, පුහුණුකරුවන්ට, සහාය කාර්යය මණ්ඩලයට කරනු ලබන ගෙවීම් හා ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවල ක්‍රීඩකයින්ගේ ඉපැයීම් හෙලිදරව් නොකර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් පමණක් හෙළිදරව් කිරීම ක්‍රීඩකයින් පුදුමයට සහ කළකිරීමට පත්වන කරුණක් බව මෙම නිවේදනයේ සදහන් කර තිබෙනවා.

“යම් සංවිධානයක් විසින් එවැනි හෙළිදරව් කිරීම් සිදු කර එම සංවිධානයේ එක් සේවක අංශයක් සම්බන්ධයෙන් පමණක් එසේ හෙළිදරව් කිරීමට උත්සාහ දැරීම කනගාටුදායක තත්ත්වයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කලමනාකරණ කමිටුවේ ක්‍රියාකලාපය ක්‍රීඩකයින්ට විශාල වශයෙන් බලපාන බවත්, එමගින් ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසයට සහ නිදහස් මනසකින් ක්‍රීඩා කිරීමට ඇති අවස්ථාවට අහිතකර බලපෑමක් ද සිදු කර ඇත. තවද ගෙවිම් සම්බන්ධයෙන් කරනු ලබන මෙවැනි ඒකපාර්ශ්වික හෙළිදරව් කිරීම් මගින් සෑම ක්‍රීඩකයෙකුගේම ආරක්ෂාව බරපතල අහිතකර තත්ත්වයක් උදාකර ඇත.”

කොන්ත්‍රාත් ගත කිරීමේ දී සිදු කෙරෙන වර්ගීකරණයට ලකුණු ලබා දුන් ක්‍රමය පිළිබදව කළමනාකරණ කමිටුවෙන් තොරතුරු ලබා දී තිබුණ ද, එම ක්‍රමවේදය ප්‍රකාරව ක්‍රීඩා කෞශල්‍ය, ශාරිරික යෝග්‍යතාව, නායකත්වය හා වෘත්තීමය තත්ත්වය යන කරුණු යටතේ ලකුණු ප්‍රදානය කළේ කෙසේද යන්න සදහන් වන එක් එක් ක්‍රීඩකයාට අදාළ තක්සේරු පත්‍රිකා කිසිදු ක්‍රීඩකයෙකුට මේ වන තෙක් ලබා දී නොමැති බව ද මෙම නිවේදනයේ සදහන්.

ඒ අනුව වර්ගීකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහතික කිරීම සදහා එක් එක් ක්‍රීඩකයාගේ තක්සේරු ලකුණු පිළිබදව එම ක්‍රීඩකයාට දැනුම් දිය යුතු බව සියලු ක්‍රීඩකයින්ගේ ඒකමතික තීරණය වී තිබෙනවා.

“එම තොරතුරු හෙළිදරව් කිරීම පැහැරහැරීම මගින් අසමගියක් ඇති වන අතර, එමගින් පක්ෂපාතීත්වය පිළිබද සාධාරණ සැකයක් ඇති වන අතර, සම්පූර්ණ ක්‍රියාදාමයේ වලංගුභාවය පිළිබදව සැක මතු වේ.”

ශ්‍රී ලංකාව කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පහතට ඇද වැටී ඇති බව ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිගන්නා නමුත් ඊට සම්පූර්ණ වගකීම භාර ගැනීමට ඉල්ලා සිටීම සාධාරණ නොවන බව අදාළ නිවේදනයේ සදහන් කර තිබෙනවා.

SLPL තරගාවලිය නිසි පරිදි පැවැත්වීමට අපොහොසත් වීම, ක්‍රීඩා සමාජ 12 සිට 24 දක්වා ඉහළ නැංවීම මෙන්ම ප්‍රාදේශීය ක්‍රිකට් ක්‍රීඩා තරගාවලි පිළිවෙලක් සහිතව නොපැවැත්වීම යන කරුණු ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පහත වැටීමට හේතු වී ඇති බව නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා පෙන්වා දෙනවා.

“Federation of International Cricketers’ Association (FICA) ලැබුණු තොරතුරුවලට අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දන්වා ඇති නව පරිශ්‍රමිකය (ගෙවීම්) ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් රටවල ක්‍රීඩකයන් හා සසදන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පාරිශ්‍රමිකය(ගෙවීම්) ඉතා පහළ මට්ටමක පවතී”

ක්‍රීඩකයින්ගේ විශ්වාසය ශක්තිමත් කර ගන්නා ආකාරයටත්, සියලු කරුණුවලදී විනිවිදභාවයක් සහිතව ක්‍රියා කිරීමටත් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වත්මන් අර්බුදය විසදීම සදහා තම පාර්ශවයේ ගැටලුවලට අවධානය යොමු කරන ලෙස ද අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ පහත සදහන් ක්‍රීඩකයින් වෙනුවෙන් බවයි නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතීරත්න මහතා සදහන් කළේ.

දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, කුසල් පෙරේරා, දසුන් ශානක, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය, පැතුම් නිශ්ශංක, ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ලක්ෂාන් සදකැන්, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ඕෂද ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර, දනුෂ්ක ගුණතිලක, අෂේන් බණ්ඩාර සහ අකිල ධනංජය

Leave a comment