Ultimate magazine theme for WordPress.

මහේලගෙන් පසු සංගාත් “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට

එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නවතම ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන විස්තර විචාරකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි ස්කයි ස්පෝර්ට්ස් රූපවාහිනී නාලිකාව විසින් එම නම් නිල වශයෙන් නිවේදනය කර ඇති අතර, එම විස්තර විචාරකයින් අතරට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ද ඇතුළත්.

ඊට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

එමෙන්ම හිටපු එංගලන්ත ක්‍රීඩකයින් වන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් සහ කෙවින් පීටර්සන් ද විස්තර විචාරකයින් ලෙස මෙම තරගාවලියට එක්වන අතර, එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ද ඊට අයත්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඩැරන් සැමී සහ වසීම් අක්‍රම් ද විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිනවා.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා මෙල් ජෝන්ස් ද විස්තර විචාරයෙන් තරගාවලියට එක් වන අතර, ස්කයි ස්පෝර්ට්ස් ආයතනය සමග නිරතුරුවම විස්තර විචාරයෙන් එක්වන නසාර් හුසේන්, Ebony Rainford-Brent, Rob Key, David Lloyd, Michael Atherton සහ Mark Butcher වැනි අය ද “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට විස්තර විචාරයෙන් සිය දායකත්වය දක්වනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී පැවැත්වීමට නොහැකි වූ මෙම තරග රටාවේ පළමු අදියර ලබන ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

කාන්තා සහ පිරිමි අංශවල තරගාවලි ද්විත්වයම එකම කාලසීමාවකදී සංවිධාන කර තිබීම විශේෂත්වයක්.

මෙම තරග රටාවේ පළමු තරගය ද සංවිධාන කර ඇත්තේ කාන්තා අංශයේ තරගයකින් වීම කැපී පෙනනවා.

ඒ අනුව ලබන ජූලි 21 වනදා Oval Invincibles කාන්තා කණ්ඩායම සහ Manchester Originals කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් මෙම නව තරග රටාව නිල වශයෙන් ආරම්භ වනු ඇති.

ඊට පසුදින එනම් ජූලි 22 වනදා එම කණ්ඩායම් දෙකේම, එනම් Oval Invincibles සහ Manchester Originals යන කණ්ඩායම්වල පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගින් පිරිමි අංශයේ තරගාවලිය ආරම්භ කෙරෙනවා.

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජූලි 24 වනදා ට්‍රෙන්ට් රොකට්ස් (Trent Rockets) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අගෝස්තු 18 වනදායින් නිමා වන අතර, අවසන් තරගය අගෝස්තු 21 වනදා පැවැත්වීමට නියමිතයි. ALSO READ : “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට එක් අවසන් පූර්ව තරගයක් පමණයි

Leave a comment