Ultimate magazine theme for WordPress.

නව නායකයෙකු සමග බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා සංචිතයට නවකයින් දෙදෙනෙක්

බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන ශ්‍රී ලංකා සංචිතයට මෙතෙක් එක්දින වරම් දිනා නොමැති ක්‍රීඩකයින් දෙදෙදෙනෙකු ද නම් කර ඇති බව වාර්තා වනවා.

සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති වුවද, ඒ සදහා එක්දින වරම් දිනා නොමැති වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සහ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු කැදවා ඇති බව සදහන්.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් එළඹෙන 10 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම සංචිතයෙන් ඉවත් කර ඇති අතර, අප මීට පෙර වාර්තා කළ ආකාරයට නව නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා පත් කර ඇති බව ද සදහන්.

පසුගිය තරගාවලි කිහිපයක් සදහා ඇතුළත් නොවූ කුසල් මෙන්ඩිස් උප නායකයා ලෙසින් මෙම සංචිතයට කැදවා තිබෙනවා.

අත්දැකීම් බහුල වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ද යළි එක්දින සංචිතයේ ස්ථානය හිමි කර ගෙන ඇති බවත්, ඔහු සමග දුෂ්මන්ත චමීර හා අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස සංචිතයට නම් කර ඇති බවත් වාර්තා වනවා.

දග පන්දු යවන්නන් ලෙස වනිදු හසරංග, ලක්ෂාන් සදකැන්, අකිල ධනංජය සහ රමේෂ් මෙන්ඩිස් එක්දින සංචිතයට නම් කර ඇති බව සදහන්.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම අවසන් වරට කොදෙව් දේශයේ දී ක්‍රීඩා කළ එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.

කෙසේ වෙතත්, 2019 වසරේ දී ශ්‍රී ලංකා එක්දින කන්ඩායමේ නායකත්වයට පත් වීමෙන් පසුව ඔහු යටතේ ශ්‍රී ලංකාව එක්දින තරග 17කට ක්‍රීඩා කර ඉන් තරග 10ක් ජය ගැනීමට සමත්ව තිබුණා.

තරග 7ක් පමණක් පරාජයට පත්ව ඇති අතර, එම කාලයේ දී පිතිකරුවෙකු ලෙස ද දිමුත් අසාර්ථකත්වයක් පෙන්නුම් කර නැහැ.

එවැනි පසුබිමක් යටතේ වුව ද ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු කිරීමට තේරීම් කමිටුව මේ වන විට අවධානය යොමු කර ඇත්තේ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ද එක්දින කණ්ඩායමෙන් ඉවත් කරමින්.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් ද ඊට අයත් අතර, පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත් තිසර පෙරේරා ද එම නම් අතරට එක්ව තිබුණා.

බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් ලබන 16 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

බංග්ලාදේශ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවට වාර්තා වන ශ්‍රී ලංකා සංචිතය –

කුසල් පෙරේරා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන, චාමික කරුණාරත්න, අකිල ධනංජය, ලක්ෂාන් සදකැන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශිරාන් ප්‍රනාන්දු

Leave a comment