Ultimate magazine theme for WordPress.

“ICC, BCCI සම්බන්ධ නැති තරගවලට මම යන්නේ නැහැ” – සනත් ජයසූරිය

සනත් ජයසූරිය යනු මෙරට ක්‍රිකට් වංශකතාවෙන් පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ද කිසිදා අමතක කළ හැකි ක්‍රීඩකයෙකු නොවේ.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවම නව තලයකට ගෙන ඒමට ඔහු දැක් වූ දායකත්වය ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තවමත් මතකය.

සනත් ජයසූරිය ගැන මේ වන විට සමාජය තුළ යළිත් කතා බහක් ඇතිව තිබෙන්නේ නිමා වූ “Road sefety world series” තරගාවලියට ඔහු ක්‍රීඩා කිරීමත් සමගයි.

Road sefety තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය ක්‍රීඩා කළ ඉනිම ද බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ අමරණීය මතකයක් වනු නොඅනුමානය.

ඔහු පිතිකරණයේ නිරත වන විට ප්‍රේක්ෂකයින්ගේ හද ගැස්ම ඔහුගේ පිතිකරණ වේගය ද අභිබවා යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අපූර්වත්වය මොනවට පැහැදිලි කරමින්.

සනත් ජයසූරිය නම් සුපිරි ක්‍රිකට් තරුව යළිත් අපට ක්‍රීඩා පිටියේ දී දැක ගත හැකි වේවිද? මේ ඒ සම්බන්ධයෙන් සහ නිමා වූ Road sefety තරගාවලිය පිළිබද සනත් ජයසූරිය මහතා සමග hitwicket.lk අපි කළ කෙටි කතා බහක්.

  • “Road sefety world series” තරගාවලියේ දී යළිත් ඔබට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණා. කණ්ඩායමක් ලෙස සියලු ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීම ගැනත් බොහෝ දෙනෙකුගෙන් සුබවාදී ප්‍රතිචාර හිමි වුණා. ඇත්තටම තරගාවලියේ දී ලැබුණු අත්දැකීම් සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරය කොහොමද?

වරදක් නැහැ. කාලෙකට පස්සේ ක්‍රීඩා කළේ. අපිට පුලුවන් විදිහට කණ්ඩායමක් විදිහට අපි එකතු වෙලා සියයට සියයක්ම දුන්නා කණ්ඩායමට. ඩිල්ෂාන් හොදටම ඒ දේ ඉෂ්ට කළා. නායකයෙක් හැටියටත්, පිතිකරුවෙක් හැටියටත්, පන්දු යවන්නෙක් හැටියටත්, පන්දු රැකීම අතිනුත් මම හිතන්නේ ඩිල්ෂාන් උදාහරණයක් වශයෙන් හැමෝටම හිටියා. අපි කණ්ඩායම ඔක්කොම එකතු වෙලා තමන්ට කරන්න පුලුවන් උපරිම ශක්තිය යෙදුවා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනෙ. ගොඩක් සත්තෝසයි ඉතිං. කාලෙකට පස්සේ මමත් ගිහිං ක්‍රීඩා කළේ. අපේ ප්‍රේක්ෂකයො ගොඩක් ආසවෙන් බලං ඉන්නවා. ඉතිං අපි හිතනවා යම්තාක් දුරකට අපි ඒ බලාපොරොත්තුව ඉෂ්ට කළා කියලා.

  • 1996 ලෝක කුසලානයේ 25 වසරක සැමරුම වෙනුවෙන් බොහෝ උත්සව පසුගිය දිනවල පැවැත්වුණා. ඒ නිසාම පසුගියවර මේ තරගාවලියට එක් වූ බොහෝ දෙනෙක්ට මේ පාර තරගාවලියට ක්‍රීඩා කරන්න බැරි වුණ පසුබිමකයි ඔබ තරගාවලියට ගියේ. කවුද ඔබට මේ තරගාවලියට පැමිණෙන්න ආරාධනා කළේ ? ඔබ ඒක පිළිගන්න විශේෂ හේතුවක් තිබුණ ද?

ඩිල්ෂාන් තමයි මට කතා කරේ. මට අවුරුදු දෙකක් විතර ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවී ඉන්න සිද්ධ වුණා.(ක්‍රිකට් තහනම හේතුවෙන්) ඒක ඉවර වුණාට පස්සේ මට හිතුන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනෙ කියලා. ඒක නිසා තමයි ලෝක කුසලානය ජය ගැනීමේ 25 වන සංවත්සරය තියෙද්දි මම ඒකට සම්බන්ධ වුණේ.

  • ඉන්දීය ප්‍රේක්ෂකයින්ගෙන් ඔබ ඇතුළු ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින්ට ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

ප්‍රේක්ෂකයින් යම් පිරිසකට පමණයි එන්න දුන්නේ කොවිඩ් වසංගතය නිසා තරග නරඹන්න. මගේ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් සහාය දක්වපු ඉන්දීය ප්‍රේක්ෂකයෝ ඉන්නවා. එදා වගේම ඔවුන් මම වෙනුවෙන් සහාය පල කළා.

  • ඉන්දියාවේ සංවිධාන කරල තිබුණ බිහාර් ක්‍රිකට් ලීගය නම් තරගාවලියකට ඔබ සහ ඩිල්ෂාන් සහභාගී වන බවට පසුගිය කාලයේ ඉන්දීය මාධ්‍යවල වාර්තා පලව තිබුණා. මෙරට සමාජ මාධ්‍ය ජාලාවලත් ඒ ගැන තොරතුරු හුවමාරු වුණා. මොකක්ද ඒ වාර්තාවල සත්‍යතාවය?

ඒකට මම සම්බන්ධ වෙන්න ගියෙ නෑ. මොකද හේතුව ඒක ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) සම්බන්ධ එකක් කියල තමයි කලින් තිබ්බේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ නැතුව, අයි.සී.සී එක සම්බන්ධ නැතුව කරන කිසිම දේකට මම සම්බන්ධ වෙන්නේ නෑ. ඒක අයි.සී.සීයේ අවසරය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය නොමැතිව කරපු තරගාවලියක්. ඒක නිසා මම ඒකට සම්බන්ධ වුණේ නැහැ.

  • Road sefety world series තරගාවලියේ දෙවැනි අදියර මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිතයි කියලා වාර්තා වනවා. එහෙම වුණොත් ඔබව ආයෙත් ක්‍රිකට් පිටියේ දකින්න මෙරට ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් ලැබේවිද?

දන්නේ නෑ ඉතිං ඒක බලන්න ඕනෙ ඉස්සරහට. මොකද මේක ලේසි නෑ. අමාරු තරගාවලියක්. මට දැන් අවුරුදු 51කට වැඩියි. ඒක නිසා බලන්න ඕනෙ කොහොමද කරන්න පුලුවන්ද බැරිද කියන එක. ලෙජන්ඩ්ස් තරගාවලිය ගැන අපි විශේෂ ස්තූතියක් ඩිල්ෂාන්ට දෙන්න ඕනෙ. ඔස්ට්‍රේලියාවේ ඉදං ඇවිත් මේ කණ්ඩායම එකතු කරගෙන ඒ කරපු රාජකාරිය මම හිතන්නේ නෑ කාටවත් කරන්න පුලුවන් එකක් කියලා. අපි ප්‍රයෝජනයක් ගන්න ඕනෙ ක්‍රීඩකයෙක්. දැනට වුණත් උපුල් තරංග, ඩිල්ෂාන් වගේ ක්‍රීඩකයන්ට අපේ ක්‍රීඩාවට යම් කිසි දෙයකින් හරි, 20යි 20 තරගයක් හරි ගහන්න පුලුවන් ක්‍රීඩකයෝ. ඩිල්ෂාන් ක්‍රීඩා කරපු හැටි දැක්කම මාත් එක්ක ක්‍රීඩා කරන්න ආපු අවුරුදු 15කට 20කට කලින් හිටපු ඩිල්ෂාන් විදිහම තමයි අදටත්. සංතෝසයි දකින්න ඒ ක්‍රීඩා කරන විදිහ. කිසි වෙනසක් නෑ. ජයග්‍රහනය කරන්න ඕනෙ, හොදට ක්‍රීඩා කරන්න ඕනෙ, හොදට පන්දු රකින්න ඕනෙ. ඒක මම දැක්ක මේ සති කිහිපයේ.

  • ආයෙත් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවාද?

ඒ ගැනනම් මම හිතන්නේ නැහැ. වැඩිපුරම කල්පනා කරන්නේ මගේ තියෙන වැඩ කටයුතු ගැන. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙනම අය දාල තියෙන්නේ, තාක්ෂණික කමිටු තියෙනවා. ඔක්කොම දේවල් දාලා තියෙන්නේ. මම හිතනවා ඒගොල්ල ඒ වගකීම කරයි කියලා.

Leave a comment