Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගයට කුඩඅම්මාගේ සැලකිලි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සදහා අතිරේක දිනයක් යොදා නොගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට දෙවැනි අවසන් පූර්ව තරගය සදහා පමණක් අමතර පැය හතරක පමණ කාලයක් (අමතර මිනිත්තු 250 ක කාලයක්) ලබා දීමට තීරණය කර ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

මීට පෙර අයි.සී.සීය විසින් නිවේදනය කර තිබුණේ අවසන් පූර්ව තරග දෙක සදහා හා අවසන් මහා තරගය සදහා අතිරේක දිනය බැගින් ඇතුළත් කර ඇති බවයි.

ඒ, වර්ෂාව හේතුවෙන් අවසන් පූර්ව තරගයක් හෝ අවසන් මහා තරගය නියමිත දිනයේ දී පවත්වා අවසන් කිරීමට නොහැකි වුවහොත් එම තරගය අතිරේක දිනයේ දී පවත්වා අවසන් කිරීමේ අරමුණින්.

පළමු අවසන් පූර්ව තරගය ජූනි 26 වැනිදා ට්‍රිනිඩෑඩ්හී දී ද, දෙවැනි අවසන් පූර්ව තරගය ජූනි 27 වැනිදා ගයානා හී දී ද පැවැත්වීමට නියමිතව තිබෙනවා. අවසන් මහා තරගය ජූනි 29 වැනිදා පැවැත්වෙන්නේ බාර්බඩෝස් හී දී යි.

කෙසේ වෙතත්, මෙහිදී ඇති වූ ගැටලුව වූයේ ජූනි 27 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතිරේක දිනයට (ජූනි 28) කල් ගියහොත්, එම තරගය අවසන් වී පැය 24 කටත් අඩු කාලයකදී ජයග්‍රාහී කණ්ඩායමට අවසන් මහා තරගය සදහා ක්‍රීඩා කිරීමට සිදු වීමයි. එමෙන්ම එම කණ්ඩායමට අදාළ කාලයේ දී ගයානා සිට බාර්බඩෝස් දක්වා ගමන් කිරීමට ද සිදු වනවා.

මෙම ගැටලුවට පිළියමක් ලෙස අයි.සී.සීය හා කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් අතිරේක දිනය ඉවත් කර, ඒ වෙනුවට එම අවසන් පූර්ව තරගය සදහා පමණක් මිනිත්තු 250 ක අමතර කාලයක් ලබා දීමටයි.

පළමු අවසන් පූර්ව තරගය කොදෙව් වේලාවෙන් රාත්‍රී 8:30 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, දෙවැනි අවසන් පූර්ව තරගය ආරම්භ වන්නේ එරට වේලාවෙන් පෙරවරු 10:30 ටයි.

දෙවැනි අවසන් පූර්ව තරගය පෙරවරු කාලයේ දී ආරම්භ වන බැවින් එම තරගය අවසන් කිරීම සදහා පැය අටක කාලයක් විනිසුරුවරුන්ට ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා. කෙසේ වෙතත්, පළමු අවසන් පූර්ව තරගය රාත්‍රී කාලයේ දී ආරම්භ වන බැවින් එයට එවැනි අමතර කාලයක් ලබා දීමේ හැකිවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව පළමු අවසන් පූර්ව තරගයට පමණක් අතිරේක දිනයක් ලබා දී තිබෙනවා.

ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත්, ඔවුන් දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ද ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

අවසන් පූර්ව තරගයක් පවත්වා අවසන් කිරීමට නොහැකි වුවහොත්, සුපිරි 8 වටයේ දී ඉදිරියෙන් පසු වූ කණ්ඩායමට අදාළ අවසන් පූර්ව තරගයේ ජය සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා වනවා.