Ultimate magazine theme for WordPress.

ශතක 4ක් සමග ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (17). දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා කඩුලු 4 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටි අතර, ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 591 ක් ලබා සිටියදීයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ශතක 4 ක් වාර්තා වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 140 ක්. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 281 (356) ක සබදතාවයක් ගොඩ නැගුණා.

අද දිනයේ දී දිනේෂ් චන්දිමාල් සිය 14 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලබා ගත් ලකුණු ප්‍රමාණය 102 ක්. පන්දු 155 කින් ඔහු වාර්තා කළ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත්.

වසර 6 කට පමණ පසුව ටෙස්ට් කණ්ඩායමට පැමිණි කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු පන්දු 114 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. හතරේ පහර 11 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. චන්දිමාල් හා සධීර අතර 7 වැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 183 (215) ක්.

සධීර වාර්තා කළ ටෙස්ට් ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙකු වසර 7 කට පසුව වාර්තා කළ පළමු ටෙස්ට් ශතකය වීම විශේෂත්වයක්. අවසන් වරට කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ටෙස්ට් ශතකයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කර තිබුණේ 2016 වසරේ දී කුසල් ජනිත් පෙරේරා විසින්.

පන්දු යැවීමේ දී Curtis Campher කඩුලු 2 ක් ද, Mark Adair, Andy McBrine, Ben White හා George Dockrell කඩුල්ල බැගින් ද දවා ගත්තා.