Ultimate magazine theme for WordPress.

චමරිගේ 195* හමුවේ ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයත් සමග අලුත් වූ වාර්තා 12 මෙන්න

චමරි අතපත්තු නොදැවී වාර්තා කළ ලකුණු 195 ක අනර්ඝ ඉනිම හමුවේ කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දකුණු අප්‍රිකාවේ Potchefstroom හි පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හයක විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකාව හිමි කර ගැනීමත් සමගයි. ඒ අනුව දෙරට අතර පැවැති එක්දින තරගාවලිය ද තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 301 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 44.3 ක් පමණක් වැය කරමින් කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීම කැපී පෙනුණා.

නායිකා චමරි අතපත්තු පන්දු 139 කින් නොදැවී ලකුණු 195 ක් වාර්තා කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 26 ක් සමගින්.

සිව්වැනි කඩුල්ල ලකුණු 126 දී දැවී ගිය පසුබිමක 5 වැනි කඩුල්ල සදහා චමරි සමග ලකුණු 179* (146) ක විශිෂ්ඨ සම්බන්ධතාවයක් පිහිටුවීමට නිලක්ෂිකා සිල්වා සමත් වුණා. නිලක්ෂිකා පන්දු 71 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 50 ක්.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායිකා Laura Wolvaardt පන්දු 147 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 184 ක්. එම ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 23 ක් ඇතුළත්.

මෙම තරගයේ දී වාර්තා රැසක් අලුත් වීම කැපී පෙනුණා. එම වාර්තා ලැයිස්තුව පහතින් –

  1. ලකුණු 300 කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් එක්දින කාන්තා ජාත්‍යන්තර තරගයකදී හඹා ගොස් තරගයක් ජය ගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. මීට පෙර වැඩිම ලකුණු ප්‍රමාණයක් සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගෙන තිබුණේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් 2012 වසරේ දී නවසීලන්තයට එරෙහිව ලකුණු 289 ක් සාර්ථක ලෙස හඹා ගොස් තිබුණා.
  2. ශ්‍රී ලංකාව ලකුණු හඹා යාමේ දී වාර්තා කළ ලකුණු 305/4 කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ දී ලකුණු සංඛ්‍යාවක් හඹා යාමේ දී කණ්ඩායමක් වාර්තා කළ සම ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර 2017 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 374 ක අසාර්ථක හඹා යාමකදී දකුණු අප්‍රිකාව විසින් කඩුලු 9ක් දැවී ලකුණු 305 ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.
  3. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු හා දකුණු අප්‍රිකා නායිකා Laura Wolvaardt යන පිතිකාරිණියන් දෙදෙනා මෙම තරගයේ දී ඉතිහාසගත වුණේ එක්දින ජාත්‍යන්තර පිටියේ දී (පිරිමි හෝ කාන්තා) ලකුණු 175 කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් එකම එක්දින තරගයකදී වාර්තා කළ පළමු පිතිකාරිණියන් දෙදෙනා ලෙසයි.
  4. නායිකාවන් දෙදෙනාම විසින් මෙම තරගයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාවේ එකතුව 390 ක්. එය නායකයින් / නායිකාවන් දෙදෙනෙකු විසින් එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණයයි. මීට පෙර විරාත් කෝලි (139*) හා ඇන්ජෙලෝ මැතිව්ස්(139*) විසින් 2014 වසරේ දී ලකුණු 278 ක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.
  5. චමරි අතපත්තු මෙම තරගයේ දී රැස් කළ ලකුණු 195* කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයක ලකුණු හඹා යාමකදී පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. පිරිමි එක්දින තරගයකදී ද එම ලකුණු සංඛ්‍යාවට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇත්තේ ග්ලේන් මැක්ස්වෙල් විසින් පමණයි.(ඇෆ්ඝනිස්තානයට එරෙහිව 2023 වසරේ දී රැස් කළ ලකුණු 201*)
  6. මෙම තරගයේ දී චමරි රැස් කළ ලකුණු 195* ඉතිහාසගත වුණේ එක්දින කාන්තා ජාත්‍යන්තර ඉතිහාසයේ දී පිතිකාරිණියක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
  7. ලකුණු 175 කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් කාන්තා එක්දින ජාත්‍යනන්තර ඉතිහාසයේ දී දෙවරක් වාර්තා කළ පළමු පිතිකාරිණිය ලෙස ද චමරි වාර්තා අතරට එක් වුණා. මීට පෙර ඇය 2017 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 178* ක් ලබා තිබුණා.
  8. කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වන විට ශතක 9 ක් වාර්තා වී ඇති අතර, එම ශතක නවයම වාර්තා කර ඇත්තේ චමරි විසිනුයි. චමරිට වඩා එක්දින ශතක වාර්තා කර ඇත්තේ Meg Lanning (15) හා Suzie Bates (13) පමණයි.
  9. Wolvaardt වාර්තා කළ 184* ඉතිහාසගත වුණේ එක්දින ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ දී පිතිකාරිණියක් වාර්තා කළ 5 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. එය දකුණු අප්‍රිකාව වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා.
  10. එමෙන්ම Wolvaardt වාර්තා කළ 184*, කණ්ඩායමක් පරාජයට පත් වූ තරගයකදී එම කණ්ඩායම වෙනුවෙන් එක්දින කාන්තා ජාත්‍යන්තර ඉතිහාසයේ දී පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර එම වාර්තාවට ඇතුළත්ව තිබුණේ චමරි ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කළ ලකුණු 178*යි.
  11. චමරි හා නිලක්ෂිකා අතර ගොඩ නැගුණු ලකුණු 179* (146) ක විශිෂ්ඨ සම්බන්ධතාවය වාර්තා අතරට එක් වුණේ 5 වැනි හෝ ඊට පහළ කඩුල්ලක් වෙනුවෙන් පිතිකාරිණියන් දෙදෙනෙකු අතර ගොඩ නැගුණු දෙවැනි හොදම සම්බන්ධතාවය ලෙසයි.
  12. එමෙන්ම එම සම්බන්ධතාවය ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ දෙවැනි හොදම සම්බන්ධතාවය ද වනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වී ඇති හොදම සම්බන්ධතාවය වන්නේ නවසීලන්තයට එරෙහි 2023 වසරේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් චමරි හා නිලක්ෂිකා ගොඩ නගා තිබූ ලකුණු 190* ක සම්බන්ධතාවයයි.
Leave a comment