Ultimate magazine theme for WordPress.

අතුරු කමිටුවට එරෙහිව ගොණු කෙරුණු පෙත්සම සලකා බලන්න නව විනිසුරු මඩුල්ලක්

ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොණු කෙරුණු පෙත්සම සලකා බැලීම සඳහා ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

ඒ, ක්‍රිකට් අතුරු කමිටුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉවත් වීම හේතුවෙන්.

නව විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම එළඹෙන 16 වනදා කැඳවීමට නියමිතයි.

මෙම නඩුවට අදාළව ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ගොනුකළ මෝසම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී මෙම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් තම සේවාදායකයා විරෝධය පළ කරන බවයි අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ.

සභාපති විනිසුරුවරයා එහිදී පැවසුවේ පසුගිය දිනවල ඇතැම් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් සම්බන්ධයෙන් අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බවයි.