Ultimate magazine theme for WordPress.

කාම්බෝජය පරදා ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තෙවැනි වටයට

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග යටතේ කාම්බෝජය සමග ඊයේ එරට දී පැවැති දෙවන අදියරේ තරගයෙන් දඩුවම් පහර 4-2 ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, කොළඹ දී පැවැති පළමු අදියරේ තරගය ජය පරාජයෙන් තොරව (ගෝල 0-0) නිමා වූ පසුබිමකයි.

තරගයේ නියමිත කාලය නිමා වන විට කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා සම මට්ටමේ පසු වුණා.

අනතුරුව ලබා දුන් අතිරේක කාලයේ දී ද කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කළා.

ඒ අනුවයි තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා දඩුවම් පහර ලබා දීමට සිදු වුණේ. එහිදී දඩුවම් පහර 4-2 ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා.

මෙම ජයත් සමග ශ්‍රී ලංකාව ආසියානු කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තෙවැනි වටයේ තරග සදහා සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර, ඊයේ ලැබූ ජයත් සමග පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 200 හෝ 201 වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට ද නියමිතයි.