ක්‍රව්ලිගේ 189 හමුවේ එංගලන්තය පළමු ඉනිමේ පෙරමුණ ගනියි ; ස්ටක්ගේ ආබාධයේ අලුත්ම තත්ත්වය මෙන්න
Day 2 Report
අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන සිව්වැනි තරගයේ දෙවැනි දිනය ඊයේ(20) රාත්‍රියේ නිමා වුණේ තරගයේ පාලනය එංගලන්තයට නතු කරමින්.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 384ක්.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සැක් ක්‍රව්ලි පන්දු 182 කින් ලකුණු 189 ක් රැස් කරමින් දිනයේ වැඩි ගෞරව සිය කණ්ඩායමට උරුම කර දුන්නා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 21 ක් ඇතුළත්.
බෙන් ඩකට් එක් ලකුණකට දැවී ගිය අතර, මොයීන් අලී ලකුණු 54 ක් ද, ජෝ රූට් ලකුණු 84 ක් ද ලබා ගත්තා. ජොෂ් හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ රූට් දැවී ගියේ තණතීරුවේ පතිත වීමෙන් පසුව ඉතා පහතින් ඇදී ගිය පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (දර්ශන පහතින්)
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින හැරී බෘෘක් ලකුණු 14 ක් ද, බෙන් ස්ටොක්ස් ලකුණු 24 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 2 ක් දවා ගත් අතර, ජොෂ් හේසල්වුඩ් හා කැමරන් ග්‍රීන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඊයේ දිනයට තරගය ආරම්භ කරන අවස්ථාව වන විට කඩුලු 8ක් දැවී ලකුණු 299 ක් ලබා සිටි අතර, ඔවුන් සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 317 ක්.
මර්නස් ලබුෂේන් හා මිචෙල් මාෂ් ලකුණු 51 බැගින් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 48 ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 41 ක් ලබා සිටියදී දැවී ගිය අතර, මිචෙල් ස්ටක් නොදැවී ලකුණු 36 යි.
පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 62 කට කඩුලු 5ක් දවා ගත්තා.
ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 67 ක්.
මිචෙල් ස්ටක්ගේ ආබාධය
මේ අතර, දෙවැනි දිනයේ පන්දු යවමින් සිටියදී හා පන්දු රකිමින් සිටියදී මිචෙල් ස්ටක් වම් උරහිසෙහි හා වම් පාදයේ ආබාධ තත්ත්වයන්ට මුහුණ දුන්නා.
ඒ හේතුවෙන් අවස්ථා කිහිපයකදී ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර මෙතෙක් ඔහුව වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කර නැහැ. අද පෙරවරුවේ දී ඔහුගේ තත්ත්වය තවදුරටත් අධීක්ෂණය කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කළ යුතු දැයි තීරණය කරනු ඇති.
කෙසේ වෙතත්, තෙවැනි දිනයේ දී ඔහුට පන්දු යැවීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු ඩැනියල් විටෝරි දෙවැනි දිනයෙන් පසුව මාධ්‍ය වෙත සදහන් කළේ.
The only way to get him out 😉
Nothing you can do about those, Joe… #EnglandCricket | #Ashes pic.twitter.com/2RYAhrfHcM
— England Cricket (@englandcricket) July 20, 2023