Ultimate magazine theme for WordPress.

මුස්ටර්ෆිසුර්ගේ කඩුලු 6 හා පළමු කඩුල්ලේ නොබිදුණු ශතක සම්බන්ධය බංග්ලාදේශයට ජය ගෙනෙයි

Match Report

මුස්ටර්ෆිසුර් රහ්මාන් සිය විස්සයි 20 ජාත්‍යන්තර දිවියේ දී වාර්තා කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය මෙන්ම ටන්සිඩ් හසාන් හා සෞම්‍ය සාකාර් පළමු කඩුල්ලට ගොඩ නැගූ නොබිදුණු ශතක සම්බන්ධතාවය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සැනසුම්දායක ජයග්‍රහනයකින් අවසන් කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තෙවැනි විස්සයි 20 තරගයෙන් ඇමෙරිකාව කඩුලු 10 ක පරාජයක් ලැබුවද ඔවුන් විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තා.

Houston හි Prairie View Cricket Complex හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 104 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 11.4 ක් පමණක් වැය කරමින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටන්සිඩ් හසාන් පන්දු 42 කින් නොදැවී ලකුණු 58 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්. සෞම්‍ය සාකාර් නොදැවී ලකුණු 43 යි. පන්දු 28 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකා ඉනිම අඩපන කළ මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු හයක් දවා ගත්තේ ලකුණු 10 ක් පමණක් ලබා දෙමින්. ඔහු යොමු කළ පන්දුවාර 4 තුළ දී එක් නිලකුණු පන්දුවාරයක් ද සටහන් වුණා.

ඇමෙරිකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 27 ක් රැස් කළ Andries Gous. Shayan Jahangir හා කොරේ ඇන්ඩර්සන් ලකුණු 18 බැගින් ලබා ගත්තා.