ලෝක කුසලානයේ පළමු තරගය එංගලන්තය හා නවසීලන්තය අතර
ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය හා අවසන් මහා තරගය අහ්මදාබාද් හී දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
පසුගිය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ලෝක ශූර එංගලන්තය හා නවසීලන්තය ඔක්තෝබර් 5 වැනිදා පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයේ දී තරග කිරීමට කිරීමට නියමිතව ඇති බව සදහන්.
නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියේ දී සත්කාරක ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව චෙන්නායි හී දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඔක්තෝබර් 15 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බොහෝ විට මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ද සදහන්.
මේ අතර, ලෝක කුසලාන තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායම ද ඉන්දියාවට පැමිණීමට මේ වන විට එකගතාවය පල කර ඇති බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ. ආසියානු කුසලාන තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට නොපැමිණෙන්නේනම් පාකිස්තාන කණ්ඩායම ද ලෝක කුසලානය සදහා ඉන්දියාවට නොපැමිණෙන බවට මීට පෙර අනතුරු ඇගවීමක් සිදු කර තිබුණා.
අහ්මදාබාද්, හයිදරාබාද්, චෙන්නායි, බැංගලූරු, කොල්කටා, දිල්ලි, ඉන්දෝර්, ධරම්සාලා, ගුවහාටි, රාජ්කොට්, රායිපූර් හා මුම්බායි හී දී ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
රටවල් 10 ක් ක්‍රීඩා කරන ලෝක කුසලාන තරගාවලිය සදහා තරග 48 ක් ඇතුළත්.