Ultimate magazine theme for WordPress.

ජයිස්වාල් හා ඩූබේගේ වේගවත් ඉනිම් ඉන්දියාවට තරගාවලියේ ජය තහවුරු කර දෙයි

Match Report : ජයිස්වාල් සමග ඉනිම ඇරඹූ නායක රෝහිත් ෂර්මා පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේ පළමු තරගයේ දී ද ඔහු ලකුණු නොලබා දැවී ගිය පසුබිමකයි.

යශස්වි ජයිස්වාල් හා ශිවම් ඩූබේගේ වේගවත් ඉනිම් හමුවේ සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම (2-0) තහවුරු කර ගැනීමට ඉන්දියාව අද (14) සමත් වුණා.

ඉන්දෝර් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 15.4 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ යශස්වි ජයිස්වාල් පන්දු 34 කින් වේගවත් ලකුණු 68 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

ඔහු සමග ඉනිම ඇරඹූ නායක රෝහිත් ෂර්මා පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේ පළමු තරගයේ දී ද ඔහු ලකුණු නොලබා දැවී ගිය පසුබිමකයි.

කලකට පසු 20යි 20 ජාත්‍යන්තර පිටියට පිවිසි විරාත් කෝලි ලකුණු 29(16) කට දැවී ගිය අතර, ශිවම් ඩූබේ පන්දු 32 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් ලබා ගත්තා. ජිටේෂ් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා. රින්කු සිං නොදැවී ලකුණු 9යි.

පන්දු යැවීමේ දී කරීම් ජනත් කඩුලු දෙකක් දවා ගත් අතර, ෆසල්හක් ෆරූකි හා නවීන් උල් හක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඉනදියාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ලකුණු 172 ක් ලබා ගත්තේ පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී යමින්.

ගුල්බදීන් නයිබ් පන්දු 35 කින් ලකුණු 57 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නජිබුල්ලාහ් සඩ්‍රාන් ලකුණු 23 ක්, මුජීබ් උර් රහ්මාන් ලකුණු 21 ක් හා කරීම් ජනත් ලකුණු 20 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඉන්දියාව වෙනුවෙන් අර්ෂ්දීප් සිං ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රවී බිෂ්නෝයි හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.