Ultimate magazine theme for WordPress.

Watch : කඩුලු රකින්නාට පන්දුව භාර දෙන්න ගොස් එංගලන්ත ක්‍රීඩකයා දැවී ගිය හැටි

මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (3) පැවැති 38 වැනි තරගයේ දී පන්දුව අතින් ඇල්ලීමේ වරද හේතුවෙන් පන්දු රකින්නන්ට බාධා කිරීමේ (obstructing the field) නීතිය යටතේ දැවී යාමකට හසු වීමට එංගලන්ත ක්‍රීඩක Hamza Shaikh ට සිදු වුණා.

මෙම තරගයේ දී එංගලන්තයේ ප්‍රතිවාදීන් වූයේ සිම්බාබ්වේ යොවුන් කණ්ඩායමයි. තරගයෙන් එංගලන්තය ලකුණු 146 ක ජයක් වාර්තා කළා.

Hamza Shaikh ගේ දැවී යාම ආන්දෝලනාත්මක දැවී යාමක් බවට පත් වුණේ ඔහු විසින් සිතා මතා පන්දු රකින්නන්ට බාධා කිරීමේ අරමුණින් පන්දුව අතින් ඇල්ලීමක් සිදු නොකර මෙම දැවී යාමට හසු වීම හේතුවෙනුයි.

කඩුලු රකින්නාට උපකාරයක් කිරීමේ අරමුණින් පන්දුව අතින් අල්ලා එය කඩුලු රකින්නාට භාර දීමටයි ඔහු එම අවස්ථාවේ දී උත්සාහ කළේ.

අනතුරුව සිම්බාබ්වේ ක්‍රීඩකයින් විසින් ඔහු දැවී ගිය අයෙකු ලෙස නම් කරන ලෙසට විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටි අතර, පසුව එය දැවී යාමක් ලෙස තීරණය කෙරුණා. (දර්ශන පහතින්)

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 237 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 24.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 91 ක් පමණයි.