Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ලකුණු 175 ක් ඉදිරියෙන්

Day 2 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(26) හයිදරාබාද් හී දී නිමා වුණේ තරගයේ පාලනය ඉන්දියාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 421 ක්.

ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු 246 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 175 ක් ඉදිරියෙන් පසුවනවා.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 81 ක් හා අක්සාර් පටෙල් නොදැවී ලකුණු 35 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 119 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස යශස්වි ජයිස්වාල් ලකුණු 80කට දැවී ගියා.

ෂුබ්මන් ගිල් ලකුණු 23 කට දැවී ගිය අතර, කේ.එල් රාහුල් ලකුණු 86 ක් ලබා ගනිමින් මැද පෙල ශක්තිමත් කළා. ෂ්රෙයස් අයියර් ලකුණු 35 යි. එස් භාරත් ලකුණූ 41 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටොම් හාර්ට්ලි හා ජෝ රූට් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ නායක බෙන් ස්ටොක්ස්. ඔහු පන්දු 88 කින් ලකුණු 70 ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 37 ක්, බෙන් ඩකට් ලකුණු 35 ක් හා ජෝ රූට් ලකුණු 29 ක් රැස් කළා. පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3 බැගින් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.