එංගලන්ත නායකයා ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට – නව නායකයෙකු නිවේදනය කෙරේ

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, මෙවර හන්ඩ්‍රඩ් තරගාවලිය යටතේ පසුගිය ඉරිදා පැවැති තරගයකදී Northern Superchargers කණ්ඩායම නියෝජනය කරමින් පිතිකරණයේ නිරතව සිටියදී ඔහුගේ වම් පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන්.
අද(13) දිනයේ දී බෙන් ස්ටොක්ස් වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව ඇති අතර, එහිදී ලද වෛද්‍ය වාර්තා අනුව මෙම ආබාධය නිසා ඔහුට මෙවර ගිම්හාන තරග වාරයේ ඉතිරි සියලු තරග අහිමි වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
එංගලන්ත – ශ්‍රී ලංකා තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය එළඹෙන 21 වැනිදා මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එම තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ.
ස්ටොක්ස් තරගාවලියට ක්‍රීඩා නොකරන බැවින් ඔලී පෝප් ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.