Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයේ මෙරට තරග කාලසටහනට වැස්සෙන් බාධා

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මෙම සතියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දෙමුහුන් ආකෘතිය යටතේ පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලය මේ වන විට පාකිස්තාන හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සමග සාකච්ඡා සිදු කරමින් සිටින බව සදහන්.

තරග කාලසටහන ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ තරග පවත්වන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් පවතින ගැටලුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

තරග ලාහෝර් හී දී හා දඹුල්ලේ දී පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවත්, වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ තරග පැවැත්වීමට ගැටලුවක් වී ඇති බවත් සදහන්.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ කුමන ක්‍රීඩාංගනවලදී තරග පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණය මෙම සතියේ දී ගැනීමට නියමිතයි.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ ඉන්දු – පාකිස්තාන තරගය ද දඹුල්ලේ පැවැත්වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, පළමු අදියර යටතේ පාකිස්තානයේ දී තරග 4ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අනතුරුව දින 2-3 ක පමණ පරතරයකින් පසුව ශ්‍රී ලංකා අදියර ආරම්භ වීමට නියමිත අතර, තරග 9 ක් මෙරට දී පැවැත්වීමට නියමිතයි.

වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය හා නේපාලය ක්‍රීඩා කරන තරගාවලියට තරග 13 ක් ඇතුළත්.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීම හේතුවෙනුයි මෙලෙස පාකිස්තානයට සත්කාරක අයිතිය හිමි මෙවර ආසියානු කුසලාන තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීමට සිදුව ඇත්තේ.