Ultimate magazine theme for WordPress.

IPL 2024 වෙන්දේසිය අද – සම්පූර්ණ තොරතුරු මෙන්න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(19) පැවැත්වෙනවා. ක්‍රීඩක වෙන්දේසිය ඩුබායි හී දී මෙරට වේලාවෙන් පස්වරු 1 ට ආරම්භ වීමට නියමිතයි.

2024 අයි.පී.එල් තරගාවලිය මාර්තු 22 වැනිදා සිට මැයි මස අවසානය දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය මහමැතිවරණය ලබන වසරේ දී පැවැත්වීමට නියමිතව ඇති බැවින් මැතිවරණයේ දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අයි.පී.එල් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරනු ඇති.

ක්‍රීඩකයින් 333 දෙනෙකු අද පැවැත්වෙන වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩකයින් 214 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වනවා.

වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 119 ක්. විදෙස් ක්‍රීඩකයින් අතරින් දෙදෙනෙකු අයි.සී.සී පූර්ණ සාමාජික නොවන රටවල්වලින් වන බව සදහන්.

වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙනවා.

ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

  1. වනිදු හසරංග – ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන්
  2. කුසල් මෙන්ඩිස් – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  3. ඩිල්ෂාන් මදුෂංක – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  4. චරිත් අසලංක – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  5. දසුන් ශානක – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  6. දුෂ්මන්ත චමීර – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  7. ලහිරු කුමාර – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්
  8. නුවන් තුෂාර – රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන්

ජාත්‍යන්තර වරම් දිනූ ක්‍රීඩකයින් 116 දෙනෙකු ද, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 215 දෙනෙකු ද වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇති.

වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් දහයේ හිමිකරුවන්ට අවස්ථාව පවතිනවා. මේ වන විට පුරප්පාඩු වී පවතින විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 30 ක්.

ඉහළම මූලික වටිනාකමක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 23 දෙනෙකු වෙන්දේසියට ඉදිරිපත් කරනු ඇති.

ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් සංඛ්‍යාව 13 ක්.