Ultimate magazine theme for WordPress.

‘අසාධාරණයි’ අමිහිරි පරාජය මැද අයි.සී.සීයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන කුඩම්මාගේ සැලකිලි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමිහිරි පරාජයක් සමග ආරම්භ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ(4) සිදු වුණා.

දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු හයකින් ශ්‍රී ලංකාව සිය පළමු තරගය පරාජයට පත් වූ අතර, ඊට පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හා තණතීරුව නිසි පරිසි කියවා ගැනීමට නොහැකි වීම වැනි කරුණු රැසක් ප්‍රබල ලෙස බලපෑවා.

කෙසේ වෙතත්, නිව් යෝර්ක්හි පැවැති මෙම තරගයට යොදා ගත් තණතීරුව ද විස්සයි 20 තරග සදහා කිසිසේත් සුදුසු නොවන බවයි මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් පවා පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාවට මෙවර ලෝක කුසලානයේ දී ක්‍රීඩා පිටියේ දී ලැබෙන අභියෝගයන්ට අමතරව ඉන් පිටතදී ද අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මේ පිළිබද ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මේ වන විට කරුණු අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ලැබී ඇති වෙහසකර තරග කාලසටහන අසාධාරණ බවයි.

ශ්‍රී ලංකාවට මෙවර ලැබී ඇති කාලසටහනට අනුව මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කරන තරග හතරම ක්‍රීඩාංගන 4කදී ක්‍රීඩා කිරීමට සිදුව තිබෙනවා. එලෙස ක්‍රීඩාංගන 4කදී මූලික වටයේ තරග ක්‍රීඩා කරන අනෙක් රට වන්නේ නෙදර්ලන්තය පමණයි.

එපමණක් ද නොවේ. නිව් යෝර්ක් හි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගනයට ගමන් කිරීම සදහා පැය එකයි මිනිත්තු 40 ක පමණ දීර්ඝ කාලයක් ද ගතවනවා.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මීට පෙර ඇමෙරිකාවේ ගුවන් තොටුපොලක ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් පැය අටක පමණ කාලයක් රැදී සිටීමට ද සිදු වුණා.

“ලොකු අසාධාරණක් අපිට සිදු කරලා තියෙනවා, අපි විවිධ ක්‍රීඩාංගණ හතරක ක්‍රීඩා කරන නිසා සෑම දිනකම (තරගය අවසන් වූ පසු) පිටත්ව යාමට සිදු වෙනවා.” යනුවෙන් මහීෂ් තීක්ෂණ සදහන් කළා.

“ඒක අසාධාරණයි. මියාමිවලින් අපිව රැගෙන ගිය ගුවන් යානය ලබා ගන්න අපිට පැය අටක පමණ කාලයක් ගුවන් තොටුපොලේ රැදී සිටින්න සිදු වුණා. අපි රාත්‍රී අටට පිටත්ව යාමට නියමිතව තිබුණත්, අලුයම පහට තමයි අපිට යන්න වුණේ. ඒක ගොඩක් අසාධාරණයි. නමුත් එය ප්‍රශ්නයක් නෑ ඔබ ක්‍රීඩාකරනකොට.”

“මට නම් කියන්න බෑ, සමහර රටවල්වලට අවස්ථාව ලැබිලා තියෙනවා එකම තැන රැදී ඉන්න. ඔවුන්ගේ හෝටල් ක්‍රීඩාංගනයට මිනිත්තු 14 ක දුරින් තියෙන්නේ. අපිට පැයයි මිනිත්තු 40 ක් වගේ තියෙනවා.”

ගමන් මහන්සිය සහ පුහුණුවීම් සඳහා යා යුතු දුර හේතුවෙන් එක් පුහුණු සැසියක් අවලංගු කිරීමට ද ශ්‍රී ලංකාවට සිදුව තිබුණා. “අදත් අපිට උදේ ක්‍රීඩාංගනයට එන්න පහට අවදි වෙන්න සිදු වුණා.”

මේ අතර, තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දියාවට සිය පුහුණු තරගය හා මූලික වටයේ පළමු තරග තුනම නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කිරීමට පහසුකම් සලසා දී ඇති අතර, මහීෂ් තීක්ෂණ ඒ සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා. (ඉන්දියාව යනුවෙන් විශේෂයෙන් සදහන් නොකර)

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය බංග්ලාදේශය සමග ජූනි 8 වැනිදා (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) ඩලස් හී දී පැවැත්වීමට නියමිතයි.

අනතුරුව ශ්‍රී ලංකාව ජූනි 12 වැනිදා නේපාලයට එරෙහිව ෆ්ලොරිඩාහී දී ද, ජූනි 16 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව කොදෙව් දූපත්හි ශාන්ත ලුසියා හී දී ද තරග වැදීමට නියමිතව තිබෙනවා.