Ultimate magazine theme for WordPress.

Watch : ‘timed out’ වී දැවී ගිය ඉතිහාසයේ පළමු පිතිකරු බවට මැතිව්ස් පත් වූ හැටි ; නීතිය මෙන්න

‘Timed out’ හෙවත් පිතිකරුවෙකු දැවී ගිය පසු නියමිත කාලය තුළ නවක පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානම්ව නොසිටීම හේතුවෙන් දැවී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත් වීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස්ට අද(6) සිදු වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව අද දහවල් ආරම්භ වූ 38 වැනි තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර, ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසියේ ඇන්ජෙලෝ මැතිව්ස්. කෙසේ වෙතත්, ඔහුට පළමු පන්දුවට මුහුණ දීම සදහා නියමිත කාලය තුළ දී නොහැකි වූයේ ඔහුගේ හිස් ආවරණයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන්.

ඒ අනුව ඔහු පළමු පන්දුවට මුහුණ දීමට පෙර සිය හිස් ආවරණය මාරු කිරීමට කටයුතු කළා. නමුත් අතිරේක ක්‍රීඩක චාමික කරුණාරත්න විසින් නව හිස් ආවරණය පිටියට රැගෙන ඒමත් සමග බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් විසින් මැතිව්ස් දැවී ගිය අයෙකු ලෙස නම් කරන්නැයි විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටියා.

අනතුරුව විනිසුරුවන් විසින් තීරණය කළේ මැතිව්ස් දැවී ගිය පිතිකරුවෙකු බවයි.

කෙසේ වෙතත්, මැතිව්ස් එම තීරණය දැඩි විරෝධයක් පල කළ නමුත්, ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. (දර්ශන කිහිපයක් පහතින් නරඹන්න)

කඩුල්ලක් දැවී යාමෙන් පසුව පිටියට පිවිසෙන නවක පිතිකරුවා ටෙස්ට් හා එක්දින තරගවලදී මිනිත්තු දෙකක් තුළ දී පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු වනවා. 2022 වසරේ ඔක්තෝබර් පළමු වැනිදාට පෙර ඒ සදහා මිනිත්තු 3ක කාලයක් ලබා දී තිබුණා. එසේ අසමත් වන පිතිකරුවන් timed out ක්‍රමවේදය ඔස්සේ දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළ හැකියි.

20යි 20 තරගවලදී නව පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු වන්නේ තත්ත්පර 90 ක් තුළ දී යි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග නීතිවල මෙම නීතිය සදහන් කර ඇත්තේ – “40.1.1 After the fall of a wicket or the retirement of a batter, the incoming batter must, unless Time has been called, be ready to receive the ball, or for the other batter to be ready to receive the next ball within 2 minutes of the dismissal or retirement. If this requirement is not met, the incoming batter will be out, Timed out.” යනුවෙනුයි.

Leave a comment