දග පන්දු යවන්නන්ගේ දක්ෂතා පංජාබ් පිල රැක ගනිද්දී දිල්ලිය තරගාවලියෙන් ඉවතට
Match Report
හර්ප්රිට් බ්රාර් හා රාහුල් චහාර් දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 59 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 31 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(13) සමත් වුණා. මෙම පරාජයත් සමග මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු අත්හැරීමට දිල්ලි කණ්ඩායමට සිදු වුණා.
දිල්ලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 167 ක් රැස් කළා.
කිසිදු පිතිකරුවෙකුගෙන් සැලකිය යුතු දායකත්වයක් ඉනිමට නොලැබුණු පසුබිමක හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු ප්රබ්සිම්රන් සිං පන්දු 65 කින් ලකුණු 103 ක් ලබා ගත්තා. හයේ පහර 6 ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ශතකය වර්ණවත් කළා.
සෑම් කරන් ලකුණු 20 ක් රැස් කල අතර, සිකන්ඩ රාසා නොදැවී ලකුණු 11 යි. පන්දු යැවීමේ දී ඉෂාන්ට් ෂර්මා ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ දිල්ලි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136 ක් පමණයි.
ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 6.2 ක් තුළ ලකුණු 69 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට ඩේවිඩ් වෝනර් හා පිල් සෝල්ට් සමත් වුණා.
සෝල්ට් ලකුණු 21 කට දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. අනතුරුව දිල්ලි ඉනිමේ කඩා වැටීම ආරම්භ වුණා. ඩේවිඩ් වෝනර් පන්දු 27 කින් රැස් කළ ලකුණු සංඛ්යාව 54 ක්. එක් හයේ පහරක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
පන්දු යැවීමේ දී හර්ප්රිට් බ්රාර් ලකුණු 30 කට කඩුුලු 4 ක් බිද හෙලුවා. රාහුල් චහාර් ලකුණු 16 කට බිද හෙලූ කඩුලු ගණන 2 ක්.