Ultimate magazine theme for WordPress.

T20 World Cup 2024 : ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. උප නායකයා ලෙස නම් කර ඇත්තේ චරිත් අසලංක.

ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.

බංග්ලාදේශ සංචාරයේ දී ඉහළ දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ධනංජය ද සිල්වා සංචිතයේ ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති දුනිත් වෙල්ලාලගේ සංචිතයට නම් කිරීමට තීරණය කර තිබීම ද විශේෂත්වයක්.

ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර සමගින් ඩිල්ෂාන් මදුෂංක, නුවන් තුෂාර හා අයි.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ මතිෂ පතිරණ සංචිතයට ඇතුළත්.

2014 විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතයේ ස්ථානයක් තහවුරු කර ගෙන ඇති අතර, ඒ අනුව ඔහු මෙවර ක්‍රීඩා කරන්නේ සිය 6 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියයි. ඔහු වසර තුනක පමණ කාලයකින් පසුව පසුගිය ජනවාරි මාසයේ දී යි යළි විස්සයි 20 ජාතික කණ්ඩායමට ඇතුළත් වුණේ.

සංචිතය සදහා අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කර තිබෙනවා. එනම්, අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ හා ජනිත් ලියනගේ යන ක්‍රීඩකයින්.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ජූනි දෙවැනිදා (මෙරට වේලාවෙන් ජූනි 3 වැනිදා) නිව් යෝර්ක් හීදී දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් එළඹෙන 14 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

නම් කර ඇති ලෝක කුසලාන සංචිතවලට වෙනස්කම් සිදු කිරීම සදහා මැයි 25 වැනිදා දක්වා අයි.සී.සීය විසින් අවසර ලබා දී ඇති අතර, ඉන් අනතුරුව සිදු කරන වෙනස්කම් සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍යයි.

The squad

1) Wanindu Hasaranga – Captain
2) Charith Asalanka – Vice Captain
3) Kusal Mendis
4) Pathum Nissanka
5) Kamindu Mendis
6) Sadeera Samarawickrama
7) Angelo Mathews
8) Dasun Shanaka
9) Dhananjaya De Silva
10) Maheesh Theekshana
11) Dunith Wellalage
12) Dushmantha Chameera
13) Nuwan Thushara
14) Matheesha Pathirana
15) Dilshan Madushanka

Travelling Reserves
1. Asitha Fernando
2. Vijayakanth Viyaskanth
3. Bhanuka Rajapaksa
4. Janith Liyanage

Leave a comment