Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් ගණන 19 ක් දක්වා ඉහළට

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නැමීබියාව අද (28) සුදුසුකම් ලබා ගත්තා.

ඒ, මේ දිනවල පැවැත්වෙන අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වීමත් සමගයි.

තරගාවලිය යටතේ ටැන්සානියාව සමග පැවැති තරගය ලකුණු 58 කින් ජය ගැනීමට නැමීබියාව සමත් වූ අතර, ඒ අනුව මෙතෙක් ක්‍රීඩා කළ තරග පහම ජය ගැනීමට නැමීබියාව සමත්ව සිටිනවා.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවත් එක් රටකට පමණක් අවස්ථාව ඇති අතර, ඒ සදහා උගන්ඩාව, කෙන්යාව, සිම්බාබ්වේ හා නයිජීරියාව අතර මේ වන විට සටනක් නිර්මාණය වී තිබෙනවා.

20යි 20 ලෝක කුසලානය සදහා නැමීබියාව අඛන්ඩව සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියට මේ වන විට රටවල් 19 ක් සුදුසුකම් ලබා අවසන්.

ඇමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවිනුයි.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 8 වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ද 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වූයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසු වූ සෙසු රටවල් දෙක වන ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

අනතුරුව යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහා අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් ද 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම පැපුවා නිව් ගිනියාව ද 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තේ නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානය තහවුරු කර ගනිමිනුයි.

ඊට අමතරව කැනඩා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්සේ සුදුසුකම් ලබා ගත්තා.

නේපාලය හා ඕමානය එළඹෙන ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේ ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය හරහායි.

Leave a comment