Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් ගණන 18 ක් දක්වා ඉහළට

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ රටවල් ගණන මේ වන විට 18 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, නේපාලය හා ඕමානය ද 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා අද(3) සුදුසුකම් ලැබීමත් සමගයි.

ආසියානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගවලින් ජය ගැනීමත් සමග එම රටවල් දෙක මෙලෙස ලබන වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තා.

නේපාලයේ පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඕමානය හමුවේ බහරේනය කඩුලු 10කින් පරාජයට පත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයෙන් නේපාලය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් වුණා.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරග 55 ක් තරගාවලියට ඇතුළත්.

ඇමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවිනුයි.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 8 වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ද 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වූයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසු වූ සෙසු රටවල් දෙක වන ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

අනතුරුව යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහා අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් ද 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම පැපුවා නිව් ගිනියාව ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තේ නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානය තහවුරු කර ගනිමිනුයි.

ඊට අමතරව කැනඩා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්සේ සුදුසුකම් ලබා ගත්තා.

තවත් රටවල් දෙකක් අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඔස්සේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

Leave a comment