Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් ගණන 16 ක් දක්වා ඉහළට

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ රටවල් සංඛ්‍යාව මේ වන විට 16 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, කැනඩා කණ්ඩායම ද 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වීමත් සමගයි.

ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි ඔස්සේ ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත්තේ එම තරගාවලියේ 12 වැනි හා අවසන් තරගයේ දී බර්මියුඩාව පරාජයට පත් කරමින්.

ඒ අනුව කණ්ඩායම් 4 ක් ක්‍රීඩා කළ ඇමෙරිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත් කැනඩාව පළමු වරට 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් සදහා සුදුසුකම් ලබා ගත්තා.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරග 55 ක් තරගාවලියට ඇතුළත්.

ඇමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව්වන් ලබන වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් තරගාවලියේ සත්කාරක රටවල් බැවිනුයි.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසු වූ රටවල් 8 වන ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ද 2024 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

එම තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබූ අනෙක් රටවල් දෙක වූයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසු වූ සෙසු රටවල් දෙක වන ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

අනතුරුව යුරෝපා කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හරහා අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් ද 20යි 20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම පැපුවා නිව් ගිනියාව ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගත්තේ නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු ස්ථානය තහවුරු කර ගනිමිනුයි.

ආසියානු හා අප්‍රිකානු කලාපවලින් තවත් රටවල් 4 ක් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

Leave a comment