T20 ලීග් තරගාවලි සදහා අයි.සී.සීය නව නීති කිහිපයක් පනවයි
පන්දුවාර 20යි 20 ලීග් තරගාවලි සදහා නව නීති කිහිපයක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) තීරණය කර තිබෙනවා.
දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර දී පැවැති අයි.සී.සී රැස්වීමේ දී මෙම නව නීති සදහා අනුමැතිය හිමි වූ බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.
ඒ අනුව 20යි 20 ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කරන කණ්ඩායමකට අවම වශයෙන් දේශීය ක්‍රීඩකයින් 7 දෙනෙකු ඇතුළත් කළ යුතු බවත්, එම ක්‍රීඩකයින් 7 දෙනා අතරට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවල ක්‍රීඩකයින් ඇතුළත් කර ගත හැකි බවත් අයි.සී.සීය සදහන් කළා.
එම නීතියට අනුව අයි.සී.සී පූර්ණ සාමාජික රටවලින් එක් කණ්ඩායමකට ඇතුළත් කර ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව සිව් දෙනෙකු පමණයි.
මෙම නීතිය අලුතින් ආරම්භ වන 20යි 20 ලීග් තරගාවලි සදහා වලංගු වන අතර, මේ වන විට පවතින ලීග් තරගාවලි සදහා එය මේ මොහොතේ දී බලපාන්නේ නැහැ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන International League T20 (ILT20), ඇමෙරිකාවේ පැවැත්වෙන Major League Cricket (MLC) හා කැනඩාවේ පැවැත්වෙන Global T20 (GLT20) වැනි තරගාවලි සදහා මේ වන විට කණ්ඩායමේ 11 දෙනා අතරට විදෙස් ක්‍රීඩකයින් සිව්දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළ හැකියි.
ILT20 තරගාවලියේ දී කණ්ඩායමක් සදහා විදෙස් ක්‍රීඩකයින් 9 දෙනෙකුට ද, MLC තරගාවලියේ දී විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකුට ද, GLT20 තරගාවලියේ දී විදෙස් ක්‍රීඩකයින් 5 දෙනෙකුට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට පවතිනවා.
කෙසේ වෙතත්, මෙම ලීග් තරගාවලි ද යම් කාලසීමාවක් තුළ අයි.සී.සීය පැනවූ නව නීතියට අනුකූල විය යුතුයි.
තවද ලීග් තරගාවලියක් සදහා විදෙස් ක්‍රීඩකයින් නිදහස් කිරීම වෙනුවෙන්, තරගාවලියේ සංවිධායකයින් විසින් අදාළ විදෙස් ක්‍රීඩකයා නියෝජනය කරන රටේ ක්‍රිකට් ආයතනය වෙත මුදා හැරීමේ ගාස්තුවක් ගෙවිය යුතු බවට වන නීතියක් ද පනවා තිබෙනවා.
ක්‍රීඩකයාගේ වටිනාකමින් 10% ක මුදලක් එලෙස ගෙවන ලෙසටයි මේ වන විට යෝජනා කර ඇත්තේ.
මේ වන විටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් වැනි ලීග් තරගාවලි විසින් එවැනි මුදා හැරීමේ ගාස්තු ගෙවනු ලබනවා.