Ultimate magazine theme for WordPress.

T 20 පිටියේ ලකුණු 10,000 අභිබවා ගොස් ඇති පිතිකරුවන් 05 දෙනා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ (26) දිනයේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරගයේදී විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ලකුණු 10,000 සීමාව පසු කළ ප්‍රථම ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමට සුපිරි පිතිකරු විරාට් කෝලි සමත්වුණා.

විරාට් කෝලි ඉතිහාසයට එක් වුණේ එම කඩයිම පසුකළ ලොව 5 වන පිතිකරුවා ලෙසයි.

ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනිම 84 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී රැස්කර ගෙන සිටින සමස්ථ ලකුණු සංඛ්‍යාව 3,159 ක්.

එමෙන්ම ජාත්‍යන්තර නොවන විස්සයි විස්ස ඉනිම 215 කට මුහුණ දී ලකුණු 6,879 ක් රැස්කර ගැනීමට ද කෝලි සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට සමස්ථ විස්සයි විස්ස ඉනිම 299 ක් තුළ රැස්කර ඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 10,038 ක්.

ඊට අර්ධ ශතක 74 ක් සහ ශතක 5 ක් ඇතුළත්.

විරාට් කොලිට පෙර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දී ලකුණු 10,000 සීමාව අභිබවා ගිය පිතිකරුවන් සිටින්නේ 04 දෙනෙකු පමණයි.

ඉන් දෙදෙනෙකුම කැරබියන් පිතිකරුවන්.

එම සුපිරි පිතිකරුවන් හතර දෙනා මෙසේයි.

04. ඩේවිඩ් වෝනර් ( ඕස්ට්‍රේලියාව )

ප්‍රවේගකාමී ආරම්භක පිතිකරුවකු වන ඩේවිඩ් වෝනර් විස්සයි විස්ස ඉනිම 305 කට ක්‍රීඩා කර රැස්කර ඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 10,019ක්. 140.71 ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන යන වෝනර් ශතක 08 ක් සමගින් අර්ධ ශතක 82 කට හිමිකම් කියන අතර, විස්සයි විස්ස පිටියේ සිය හොඳම ඉනිම ලෙස නොදැවී ලකුණු 135 ක් රැස්කිරීමට ද ඔහු සමත්ව තිබෙනවා.

03. ෂොයිබ් මලික් ( පාකිස්තානය )

මැද පෙළ පිතිකරුවකු ලෙස ලොව පුරා ලීග රැසක් නියෝජනය කර තිබෙන ෂොයිබ් මලික් විස්සයි විස්ස ඉනිම 408 කට ක්‍රීඩා කරමින් රැසකර ඇති සමස්ථ ලකුණු සංඛ්‍යාව 10,832 ක්. 125.77 ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගෙන යන මලික් අර්ධ ශතක 66 කට උරුමකම් කියනවා. විස්සයි විස්ස පිටියේ ඔහුගේ හොඳම ඉනිම වන්නේ නොදැවී රැස් කළ ලකුණු 95යි.

02. කිරන් පොලාඩ් ( කොදෙව් දූපත් )

වේගවත් පිතිකරණයට වඩාත් ප්‍රියකරන්නෙකු වන කොදෙව් වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් ලොව පුරා ලීග රැසක් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති විස්සයි විස්ස ඉනිම ගණන 500 ක්. එහිදී 152.74 ක ප්‍රහාරාත්මක වේගයක් සමගින් ඔහු සමස්ථ ලකුණු 11,202 ක් රැස්කරගැනීමට සමත්ව තිබෙනවා. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 56 ක් ඇතුළත්. පොලාඩ් වාර්තා කර ඇති හොඳම ඉනිම දැක්වෙන්නේ 104 ක් ලෙසයි.

01. ක්‍රිස් ගේල් ( කොදෙව් දූපත් )

ලොව පුරා විස්සයි විස්ස ලීගවලට නැතුවම බැරි ක්‍රීඩකයකු වන Universe Boss නැමති අනුවර්තන නාමයෙන් හදුන්වන ක්‍රිස් ගේල් ක්‍රීඩා කර ඇති සමස්ථ විස්සයි විස්ස ඉනිම සංඛ්‍යාව 439 ක්. එහිදී මුළු ලකුණු 14,275 ක් රැස්කරගැනීමට ඔහු සමත්ව තිබෙනවා. 145.76 ක ප්‍රහාරාත්මක වේගයක් සමගින් ශතක 22 ක් සහා අර්ධ ශතක 87 ක් ඔහුගේ නම ඉදිරියේ ලියවී අවසන්. ගේල් විස්සයි විස්ස පිටියේ වාර්තා කර ඇති හොඳම ඉනිම දැක්වෙන්නේ නොදැවී රැස් කළ ලකුණු 175 යි.

Leave a comment