Ultimate magazine theme for WordPress.

IRE v BAN : තීරණාත්මක එක්දින තරගාවලිය අදින් ඇරඹේ ; “සූදානම හොද මදි” : හතුරුසිංහ

අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලිය අද(9) ආරම්භ වනවා.

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් වන මෙම තරගාවලිය එංගලන්තයේ Chelmsford හී දී පැවැත්වෙන අතර, පළමු එක්දින තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 3:15 ට ආරම්භ වීමට නියමිතයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් අයර්ලන්තය මෙම එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගත යුතුයි.

එමෙන්ම මේ වන විට සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටින දකුණු අප්‍රිකාවට වඩා ශුද්ධ ලකුණු වේගය ද (net run rate) ඉහළ මට්ටමක රදවා ගැනීමට අයර්ලන්තයට සිදු වනවා.

දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 98 ක් සමගින් මේ වන විට 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, අයර්ලන්තය ප්‍රසාද ලකුණු 68 ක් ලබා ගනිමින් 11 වැනි ස්ථානයේ රැදී සිටිනවා. දකුණු අප්‍රිකාවේ ශුද්ධ ලකුණු වේගය -0.077 ක් වන අතර, අයර්ලන්තයේ ශුද්ධ ලකුණු වේගය -0.382 ක්.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 7 තුළ රැදී සිටින කණ්ඩායම් මේ වන විටත් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා අවසන්ව ඇති අතර, සෘජුව සුදුසුකම් ලබා ගැනීමට තවත් අවස්ථාව පවතින්නේ දකුණු අප්‍රිකාව හෝ අයර්ලන්තය යන රටවල් දෙකෙන් එක් රටකට පමණයි.

ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් නොලබන රටට සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනවා. සුදුසුකම් ලැබීමේ තරගාවලියට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථාන පහ තුළ රැදී සිටින සියලු කණ්ඩායම් ක්‍රීඩා කළ යුතුයි.

අද ආරම්භ වන එක්දින තරගාවලියේ සත්කාරකත්වය අයර්ලන්තයට හිමිව ඇතත්, තරගාවලිය එංගලන්තයේ Chelmsford හී දී පැවැත්වීමට අයර්ලන්තය තීරණය කළේ අයහපත් කාළගුණයෙන් තරගාවලියට සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමේ අරමුණින්.

පසුගිය පළමු වැනිදා බංග්ලාදේශ කණ්ඩායම එංගලන්තයට පැමිණිය ද ඔවුන්ට තරගය පැවැත්වෙන Chelmsford ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර හිමි වූයේ ඊයේ(8) දිනයේ දී යි. ඒ, මැයි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා Essex හා Surrey කණ්ඩායම් අතර පැවැති ප්‍රාන්ත සිව්දින තරගය හේතුවෙන්. වර්ෂාව සහිත අයපහත් කාළගුණය හේතුවෙන් බංග්ලාදේශයේ පුහුණුවීම් කටයුතුවලට බලපෑම් ද එල්ල වුණා.

ඒ අනුව මෙම තරගාවලිය සදහා බංග්ලාදේශ කණ්ඩායමේ සූදානම් වීම හොද මට්ටමක නොපවතින බවයි ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය වෙත සදහන් කළේ.

මේ අතර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටි අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් ලිට්ල් මෙම තරගාවලිය සදහා අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

Leave a comment