Ultimate magazine theme for WordPress.

IPL මඟ හැරියොත් විදෙස් ක්‍රීඩකයින්ට වසර දෙකක තහනමක්

මේ අතර, සියලු විදෙස් ක්‍රීඩකයින් ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසිය (mega auctions) සදහා ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇති අතර, එලෙස ලියාපදිංචි නොවන විදෙස් ක්‍රීඩකයින්ට ඊළග වසරේ පැවැත්වෙන සාමාන්‍ය ක්‍රීඩක වෙන්දේසිය (mini auction) සදහා ඉදිරිපත් වීමට හැකි වන්නේ නැහැ.

ක්‍රීඩකයින් සදහා වසර දෙකක තහනමක් පැනවිය හැකි නව නීතියක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකයින් විසින් හදුන්වා දී තිබෙනවා.

අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී යම් කණ්ඩායමක් විසින් ක්‍රීඩකයෙකු මිලදී ගැනීමෙන් පසුව එම ක්‍රීඩකයා අදාළ වසරේ තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කළහොත් (නීත්‍යානුකූල හේතුවක් නොමැතිව) මෙම දඩුවම පැනවීමටයි තීරණය කර ඇත්තේ.

වෙන්දේසියේ දී අලෙවි වීමෙන් පසුව එලෙස තරගාවලියෙන් ඉවත් වීමට කටයුතු කරන ක්‍රීඩකයින්ට මින් ඉදිරියට වසර දෙකක අයි.පී.එල් තහනමක් පැනවෙන බවයි අයි.පී.එල් සංවිධායකයින් නිවේදනය කළේ.

වෙන්දේසියේ දී මිලදී ගැනීමෙන් පසුව ක්‍රීඩකයින් තරගාවලියෙන් ඉවත් වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අයි.පී.එල් සංවිධායකයින් සමග ජූලි මාසයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී කණ්ඩායම් දහයේ හිමිකරුවන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව ආබාධයක් හෝ වෙනත් සෞඛ්‍ය හේතුවක් මත තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බවට අදාළ ක්‍රීඩකයා නියෝජනය කරන රටේ ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කරන අවස්ථාවක් හැරුණු විට වෙනත් හේතුවක් මත කිසිදු ක්‍රීඩකයෙකුට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට හැකි වන්නේ නැහැ. එසේ කළහොත් ඔවුන්ට එරෙහිව වසර දෙකක තහනම පනවනු ලබනවා.

මේ අතර, සියලු විදෙස් ක්‍රීඩකයින් ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසිය (mega auctions) සදහා ලියාපදිංචි වීම අනිවාර්යය කර ඇති අතර, එලෙස ලියාපදිංචි නොවන විදෙස් ක්‍රීඩකයින්ට ඊළග වසරේ පැවැත්වෙන සාමාන්‍ය ක්‍රීඩක වෙන්දේසිය (mini auction) සදහා ඉදිරිපත් වීමට හැකි වන්නේ නැහැ.

සාමාන්‍ය ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වෙමින් ක්‍රීඩකයින් දැවැන්ත මිලක් ලබා ගැනීමට ගන්නා උත්සාහය වැළැක්වීම මෙහි අරමුණ වී තිබෙනවා. සාමාන්‍ය වෙන්දේසියකට කණ්ඩායම් හිමිකරුවන් පැමිණෙන්නේ සිය සංචිතයේ තෝරා ගත් පුරප්පාඩු කිහිපයක් පුරවා ගැනීමේ අවශ්‍යතාවය මතයි.

පසුගිය අයි.පී.එල් වෙන්දේසියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 24.75 ක මිලක් ගෙවා මිචෙල් ස්ටක් මිලදී ගැනීමටත්, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20.50 ක මිලක් ගෙවා පැට් කමින්ස් මිලදී ගැනීමටත් සිදු වුණා.

මෙය පාලනය කර ගැනීම සදහා අයි.පී.එල් සංවිධායකයින් විසින් උපාය මාර්ග දෙකක් මේ වන විට යොදා තිබෙනවා. එහි පළමු ක්‍රමය වන්නේ සියලු විදෙස් ක්‍රීඩකයින්ට ප්‍රධාන ක්‍රීඩක වෙන්දේසියට ලියාපදිංචි වීම අනිවාර්යය කිරීමයි. ක්‍රීඩකයෙකු ආබාධයකින් පසුවන්නේනම් පමණක් එම ක්‍රීඩකයාට මෙම නීතිය වලංගු වන්නේ නැහැ.

එමෙන්ම විදෙස් ක්‍රීඩකයෙකු සාමාන්‍ය වෙන්දේසියකදී අලෙවි විය හැකි උපරිම වටිනාකමක් ප්‍රකාශයට පත් කිරීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය වෙන්දේසියකදී විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි විය යුුතු වන්නේ ප්‍රධාන වෙන්දේසියේ දී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට අඩුවෙන් හෝ ක්‍රීඩකයෙකු රදවා ගත් ඉහළම වටිනාකමට (කෝටි 18) අඩුවෙනුයි.