Ultimate magazine theme for WordPress.

IPL ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට ලැබෙන වැටුප් හා පහසුකම් මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල් තරගාවලිය යනු ලොව වඩාත් ජනප්‍රියම හා දැවැන්තම ලීග් තරගාවලියන්ගෙන් එකක් බව නොරහසක්.

ලොව දෙවැනි මිල අධිකම විකාශන වටිනාකමක් සහිත ක්‍රීඩා ලීග් තරගාවලිය වන අයි.පී.එල් තරගාවලිය විකාශන වටිනාකම අතින් දෙවැනි වන්නේ අමෙරිකාවේ NFL පාපන්දු තරගාවලියට පමණයි.

විකාශන වටිනාකම්, අනුග්‍රාහක වටිනාකම්, ක්‍රීඩකයින්ගේ වටිනාකම් මෙන්ම කණ්ඩායම්වල වටිනාකම් ද දිනෙන් දින ඉහළ යන මෙම සුපිරි ලීග් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් අංගයක් ලෙස ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ගේ (cheerleaders) කාර්යය නම් කළ හැකියි.

අතීතයේ සිටම ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ගේ කාර්යය අයි.පී.එල් තරගාවලියේ දී බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වූ බව නොරහසක්.

බොහෝ විට විදෙස් තරුණියන් ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කරන අයුරු දැකිය හැකි අතර, ඉන්දීය තරුණියන් එම කාර්යය ඉටු කරනු දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

මෙලෙස ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කරන තරුණියන්ට ලැබෙන වැටුප පිළිබදවයි මෙම ලිපියෙන් අප ඔබට තොරතුරු රැගෙන එන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් සදහා එක් තරගයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 14,000 සිට 17,000 දක්වා ගෙවීමක් සිදු කරනු ලබනවා. (ශ්‍රී ලංකා රුපියල් 52,000 සිට 63,500 ක් පමණ දක්වා)

එමෙන්ම ඔවුන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පවතින්නේනම් හා ඔවුන් නියෝජනය කරන කණ්ඩායම තරග ජයග්‍රහනය කළහොත් ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට ප්‍රසාද දීමනාවක් ද පිරිනමන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම වැටුපට අමතරව ඉන්දියාවේ රැදී සිටින කාලයේ දී ඔවුන්ට සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, ආහාරපාන ඇතුළු පහසුකම් රැසක් ද ලබා දෙන බව සදහන්.

අයි.පී.එල් තරගාවලියේ දී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කිරීම සදහා තේරී පත් වීම ද පහසු කාර්යයක් නොවේ.

නර්තනය, නිරූපන ක්ෂේත්‍රය හා ප්‍රේක්ෂකයින් ඉදිරියේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම පිළිබද අත්දැකීම් ඔවුන්ට ඒ සදහා අවශ්‍ය වනවා.

ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් තේරීම ඉතා දැඩි ක්‍රියාවලියක් බවත්, සම්මුඛ පරීක්ෂණ ගණනාවකට මෙන්ම ලිඛිත ඇගයීම්වලට ද ඔවුන්ට මුහුණ දී සමත් වීමට සිදුවන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Leave a comment